නව බදු ගෙවන්නන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරයි
25 November 2025 | සාලිය කුමාර ගුණසේකර
නව බදු ගෙවන්නන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරයි
25 November 2025 | සාලිය කුමාර ගුණසේකර
මේ වසර තුළදී ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු පැවැසුවාය.
එමෙන්ම, සමාගම් 18,000 කට වැඩි සංඛ්‍යාවක්ද අලුතින් බදු සඳහා ලියාපදිංචි කිරීමට හැකිවූ බවද ඇය කියා සිටියාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රගතිය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව කියා සිටියාය.
රජයේ ප්‍රමුඛ ආදායම් උපයන ආයතනයක් ලෙස ආදායම් බදු, වැට් බදු, සමාජ ආරක්ෂණ බදු එකතු කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීමක් පැවරී තිබෙන බව ද ඇය කියා සිටියාය.
මේ වසරට අදාළව රුපියල් බිලියන 2,195 ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වූ රුපියල් ට්‍රිලියන දෙකක් ඉක්මවූ ආදායමක් ඉකුත් සතිය වනවිටදී වාර්තා කළ බවත් ඇය පැවැසුවාය.
මේ වනවිට රුපියල් බිලියන 2,080 ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන ඇතැයි ද ඇය කියා සිටියාය. දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ බදු අනුකූලතාවය වැඩි දියුණු කිරීමේ වැඩසටහන් හේතුවෙන් මෙලෙස බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවූ බවද ඇය කියා සිටියාය.
අලුතින් බදු දැලට එකතු වූ සියලු දෙනාම දැනුවත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි ද ඇය පැවැසුවාය.
දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මෙහිදී කියා සිටියේ රජය විසින් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ඉලක්කයෙන් මේ වනවිට සමස්ථ ආදායමින් සියයට 92 ක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.
ඉකුත් වසරට (2024) සාපේක්ෂව දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී සියයට 17 ක වැඩිපුර ආදායමක් දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර උපයාගෙන තිබෙන බවද ඔහු කීවේය.
තනි පුද්ගල බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවත්, බදු ගෙවන සමාගම් සංඛ්‍යාව 118,000 ඉක්මවා තිබෙන බවත්, වැට් බදු ලියාපදිංචි සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබෙන බවත්, ඒ අනුව දෙපාර්තමේන්තුව මේ වසරේදී බදු පදනම පුළුල් කරගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.
2024 වසරට සාපේක්ෂව මේ වසරේදී එකතු කළ අගය මත බද්ද (Vat) සියයට 21 කින් වර්ධනයවී තිබෙන බවත්, සමාගම් ආදායම් බදු සියයට 14 ක වර්ධනයක්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සියයට 19 ක වර්ධනයක් ලබා ඇති බවත් ඔහු කීවේය.
පුද්ගල ආදායම් බදු යටතේ කොටස් දෙකක් තිබෙන බවත්, උපයන විට ගෙවීමේ බද්දේ සහ තනි පුද්ගල ආදායම් බද්දේ සියයට 9 ක වර්ධනයක් ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී ලබාගෙන තිබෙන බවත් ඔහු කීවේය.
රඳවා ගැනීමේ බද්ද සියයට 6 කින් වර්ධනයවී ඇතැයි ද ඔහු පැවැසුවේය.
ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (බදු ප්‍රතිපත්ති) නෆීල් අබුබකර් මෙහිදී කියා සිටියේ 2023 වසර වන විටදී වැට් ප්‍රතිශතය පැවැතියේ සියයට 15 ක බවත්, එය මේ වනවිට සියයට 18 ක් දක්වා වැඩිවී තිබෙන බවත්, ආදායම් බදු ප්‍රතිශතය සියයට 24 සිට සියයට 30 දක්වා වැඩිවී තිබෙන බවත්, පුද්ගලික ආදායම් බදු ගෙවීමේ ප්‍රතිශතය හා බදු නිදහස් දීමනාවේ වෙනස්වීම් ආදී විවිධ කාරණා නිසා බදු පදනම පුළුල් වූ බවත්ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 2019 වසරේදී පැවතියේ රුපියල් බිලියන 1,025 ක් බවත්, 2020 වසර වන විටදී රුපියල් බිලියන 520 ක් දක්වා අඩුවූ බවත්, පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුදය ඊට බලපෑ බවත්, 2022 වසර වන විටදී ආදායම රුපියල් බිලියන 1,058 ක් දක්වාද, 2023 වසර වන විටදී රුපියල් බිලියන 1,842 ක් දක්වාද, 2024 වන විටදී රුපියල් බිලියන 2,620 ක් දක්වා ඉහළ ගිය බවත් ඔහු කීවේය.මේ වසරට ලබාදී තිබෙන ඉලක්කය දෙසැම්බර් මාසය වන විටදී එය සම්පූර්ණ කිරීමට හැකි වෙතැයිද ඔහු පැවැසුවේය.

