අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට ජනපති උපදේශක සභාවක්
30 October 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට ජනපති උපදේශක සභාවක්
30 October 2026
අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී ඒකාබද්ධ උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය සහ සංවර්ධනය කිරීම පිළිබඳව අවශ්ය තීන්දු තීරණ ගැනීමේ ක්රියාවලිය වෙනුවෙන් ජනාධිපති උපදේශක සභාවක් පිහිටුවා තිබේ.
වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්යාරාමාධිකාරී, රජරට විශ්වවිද්යාලයේ කුලපති, මහාවිහාර සංඝ සභාවේ මහා ලේකම් උතුරු මධ්යම දිසාවේ ප්රධාන සංඝනායක, අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිපාණන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා අදාළ කමිටුවේ සම සභාපතිවරු වශයෙන් කටයුතු කරනු ලබයි.
අභයගිරිය චෛත්යාරාමාධිකාරී, ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි හා බාහිර උපාධි විස්තාරිත ඒකකයේ අධ්යක්ෂ පූජ්ය මහාචාර්ය කල්ලංචියේ රතනසිරි, ථූපාරාම චෛත්යාරාමාධිකාරී පූජ්ය ශාස්ත්රපති කහල්ලේ ඥානින්ද, ඉන්දීය මහාබෝධි සමාගමේ හිටපු නියෝජ්ය ලේකම්, බෝමළුව විහාරවාසී පූජ්ය ආචාර්ය කහටගොල්ලෑවේ මේධංකර යන ස්වාමීන් වහන්සේ ඇතුළු රේඛීය ආයතනවල අධ්යක්ෂ ජනරාල්වරු, රාජ්ය නිලධාරීහු, විද්වතුන් ඇතුළු 32 දෙනෙකුගෙන් සමන්විත සාමාජිකයන් පිරිසක් මේ සඳහා පත් කර තිබේ.
පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී ඒකාබද්ධ තීරණ ගැනිමේ යාන්ත්රණයක් තුළින් පුරාවිද්යාත්මක, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු කිරීම මෙම කමිටුවට වගකීම් පවරා ඇත.
එහි සෙසු සාමාජිකයන් වශයෙන්, බුද්ධශාසන අමාත්යාංශයේ අතිරේක ලේකම් (පූජා භූමි අංශය) සමන්ති නාගස්තැන්න, නාගරික සංවර්ධන අමාත්යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) තරනි අනෝජා ගමගේ, යුනොස්කෝව සඳහා වූ ජාතික කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රභාත් ජයසිංහ, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සංරක්ෂණ) ප්රසන්න රත්නායක, උද්භිද විද්යාඥ භාතිය සුමිත්රා ආරච්චි, ආචාර්ය රත්නසිරි ප්රේමතිලක, බුද්ධශාසන අමාත්යාංශයේ උපදේශක, හිටපු පුරාවිද්යා අධ්යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, කැලණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය මාලිංග අමරසිංහ, ශ්රී ලංකා පුරාවිද්යාඥයින්ගේ සභාවේ සභාපති මහාචාර්ය ආර්. එම්. එම්. චන්ද්රරත්න, රජරට විශ්වවිද්යාලයේ හිටපු ඉතිහාසඥ මහාචාර්ය ආරිය ලගමුව, කැළණිය විශ්වවිද්යාලයේ අස්පර්ශනීය උරුමය පිළිබඳ විශ්රාමික මහාචාර්ය බී. ඩී. නන්දදේව, ශ්රී ලංකා නගර නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සභාපති වයි. ඒ. ඩී. කේ. ගුණතිලක, ශ්රී ලංකා වාස්තු විද්යාඥයන්ගේ ආයතනයේ සභාපතිනි, වරලත් වාස්තු විද්යාඥ දිලුම්මිනි ද මෙල් යන මහත්ම මහත්මීහුද, අනුරාධපුර නගරාධිපති, අනුරාධපුර දිස්ත්රික් ලේකම්, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, අනුරාධපුර නියෝජ්ය පොලිස්පති, මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම්, උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පළාත් ඉංජිනේරු, අනුරාධපුර නාගරික කොමසාරිස්, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු, අනුරාධපුර ලංකා විදුලි බෙදාහැරීම් පුද්ගලික සමාගමේ විදුලි ඉංජිනේරු, අනුරාධපුර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්රාදේශීය කළමනාකරු කටයුතු කරයි.

