දෙළොස් වැනි මහලෙන් ඇදවැටුණු තරුණයා පාරේ ගිය තරුණිය මතට පතිත වේ
23 July 2026
දෙළොස් වැනි මහලෙන් ඇදවැටුණු තරුණයා පාරේ ගිය තරුණිය මතට පතිත වේ
23 July 2026
ජපානයේ නගෝයා හි මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් පහළට වැටුණු පුද්ගලයකු පදික වේදිකාවේ ගමන් කරමින් සිටි තරුණියක මතට පතිත වීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුරකින් එම තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි හවුරා ඉනබා නමැති තරුණියක බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේය.
ඉකුත් ඉරිදා අලුයම 1.00 ට පමණ ඇය සිය මිතුරියක සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇතැයි ද වාර්තා වේ.
29 හැවිරිදි ෂින්සෙයි තගුචි නමැති පුද්ගලයකු අදාළ ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් හෝ පහළට පැනීමෙන් සෘජුවම මෙම තරුණියගේ සිරුර මතට පතිත වී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවූ වහාම, ඇය සමග ගමන් කළ මිතුරිය විසින් ගිනි නිවන හා හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී ඇති අතර, ඉන් පසුව දෙදෙනාම වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඇති වූ ආඝාත තත්ත්වය හේතුවෙන් එදින අලුයම 5:30 ට පමණ අදාළ තරුණිය රෝහලේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අනතුරට ලක්වූ 29 හැවිරිදි තගුචි නමැති පුද්ගලයා මේ වන විට සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඔහුගේ තත්ත්වය අතිශය බරපතළ බව වාර්තා වේ.
ඔහු ගොඩනැගිල්ලෙන් බිමට පැන්නේද නැතහොත් අහම්බෙන් ඇද වැටුණේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැත.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ නගෝයා අධිවේගී මාර්ගයේ යාබචෝ දුම්රිය ස්ථානයට මීටර් 500 ක් පමණ ඊසාන දෙසින් පිහිටි කාර්යාල සහ නේවාසික සංකීර්ණ බහුල ජනාකීර්ණ ප්‍රදේශයකදීය.
සිද්ධිය සම්බන්ධයෙන් ජපන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජපානයෙන් මෙවැනි අවාසනාවන්ත පුවතක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට පෙර 2024 අගෝස්තු මාසයේදී ද ටෝකියෝ නගරයට නිරිත දෙසින් පිහිටි යොකොහාමා දුම්රිය ස්ථානයට අනුබද්ධ වාණිජ ගොඩනැගිල්ලකින් ඇදවැටුණු 17 හැවිරිදි පාසල් තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහිදී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි 32 හැවිරිදි කාන්තාවකගේ ඇඟ මතට ඇය පතිත වීමෙන් එම කාන්තාව ද අවාසනාවන්ත ලෙස මියගිය බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම 2020 ඔක්තෝබර් මාසයේදී ඔසාකා හිදී ද මෙවැනිම ඛේදනීය සිදුවීමක් වාර්තා වී ඇත.
එහිදී බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයකින් පහළට පැන ඇති බවට සැකකෙරෙන 17 හැවිරිදි පාසල් සිසුවෙකු, පදික වේදිකාවේ ගමන් කරමින් සිටි 19 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ඇඟ මතට පතිත වීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

