නුවරඑළියට නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ලක්
05 November 2026
නුවරඑළියට නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ලක්
05 November 2026
නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට අද (05) පස්වරුවේ මුල්ගල් තැබිණි.
ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් මුල්ගල් තැබුණු මෙම ගොඩනැගිල්ල නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය පවත්වාගෙන යාම සඳහා ඉදිකෙරේ.
ගොඩනැගිල්ලේ උපදේශන කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, ඉදිකිරීම් තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් අංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
මුල්ගල් තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඓතිහාසික තැපැල් කාර්යාලයේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතු ද නිරීක්ෂණය කළේය.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය රතු ගඩොලින් නිමවා ඇති දෙමහල් ගොඩනැගිල්ලකි.
ඉංග්‍රීසි ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් සමන්විත එහි ඔරලෝසු කුළුණ නුවරඑළිය නගරයේ අනන්‍යතාව නිරූපණය කරන සුවිශේෂී සලකුණක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ ගොඩනැගිලි හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධීක්ෂණයෙන් සිදුකෙරෙන සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු, එම ගොඩනැගිල්ල සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
එමඟින් දේශීය හා විදේශීය සංචාරකයන්ට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ තොරතුරු සහ මඟපෙන්වීම් ලබාදීමට සැලසුම් කර තිබේ.
සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේදී ස්වභාවික සම්පත් මෙන්ම ඓතිහාසික, සංස්කෘතික හා ගෘහ නිර්මාණ උරුමයන් ද ප්‍රවර්ධනය කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ගාලු කොටුව වැනි ඓතිහාසික ස්ථාන මෙන්ම නුවරඑළිය තැපැල් කාර්යාලය ද ජාතික උරුමය සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ කළ හැකි වටිනා සම්පත් බව ඔහු පෙන්වා දුන්නේය.
උත්සවයෙන් අනතුරුව නුවරඑළිය යුනික් වීව් ප්‍රදේශයේ ඉදිකෙරෙන දෙමහල් සංචාරක නිවාඩු නිකේතනයේ සහ දෙමහල් නිල නිවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඒ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 199ක් සහ රුපියල් මිලියන 106.5ක් ඇස්තමේන්තු කර තිබේ.
2025, 2026 සහ 2027 වසරවලදී අදියරගතව ප්‍රතිපාදන වෙන්කරමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
2026 වසරේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති අතර, නුවරඑළිය නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ල එම වසරේ මුල්ගල් තබන අටවැනි ගොඩනැගිල්ල වේ.
එමෙන්ම 2026 වසරේ තැපැල් කාර්යාල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබේ.
ඒ යටතේ ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංරක්ෂණ කටයුතු මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාල 88ක අලුත්වැඩියා කටයුතු ද සිදුකෙරේ.
2025 වසරේදී ද මේ සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබූ අතර, එම ප්‍රතිපාදන යටතේ තැපැල් කාර්යාල සහ පරිපාලන කාර්යාල 200කට ආසන්න සංඛ්‍යාවක අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල 23ක් සහ උප තැපැල් කාර්යාල 96ක් ක්‍රියාත්මක වන අතර, එම සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජනතාවට අඛණ්ඩ තැපැල් සේවාවක් සැලසීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක වේ.

