brand logo
logo
හස්තීන්ට අනතුරක් වූ සැනින් ක්‍රියාත්මක වීමට පශු වෛද්‍ය ඒකකයක්

හස්තීන්ට අනතුරක් වූ සැනින් ක්‍රියාත්මක වීමට පශු වෛද්‍ය ඒකකයක්

21 October 2026

2026 ඔක්තෝබර් මස 16 වන දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, වන අලි සුබසාධනය උදෙසා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීමටත්, ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබීය.


මෙම විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රධානත්වයෙන් අද (21) පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස්විය. එහිදී අනාගතයේදී හස්තීන්ට යම් අනතුරක් සිදුවූ වහාම, සිද්ධිය වූ ස්ථානයේදීම (ක්‍ෂේත්‍රයේදීම) කඩිනමින් ප්‍රතිචාර දක්වා ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ පශු වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කෙරිණි.


එමෙන්ම, මෙවැනි හදිසි තත්ත්වයන් හමුවේ විද්‍යාත්මක පදනමක් මත පිහිටා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු දෙනා අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීමට ද යෝජනා විය.


සාකච්ඡාවේදී 'කාවන්තිස්ස' ඇතාගේ මරණයට හේතුව, ඇතාට සිදුවූ හානියේ ස්වභාවය සහ ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දක්වන ලද මැදිහත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කරන ලදී.


මීට අමතරව, ඉදිරි ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ ද සහාය ලබාගැනීමට තීරණය විය. මෙම අවස්ථාවට කමිටු සම්බන්ධීකාරක ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන්, කමිටු සභාපති ඒ. එච්. සරත් විජේසිංහ ඇතුළු මහාචාර්යවරුන්, පරිසරවේදීන් සහ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

 

More News..