brand logo
logo
වෙඩි තියන්න අපට බලය තියෙනවා - හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ

වෙඩි තියන්න අපට බලය තියෙනවා - හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ

12 July 2026 | අනීෂා මානගේ


මීගමුව බන්ධනාගාරයේ ​කෝලාහලයෙන් රැඳවූවන් සේම බන්ධනාගාර නිලධාරීහු අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෑත ඉතිහාසයේ බන්ධනාරයක මෙවන් කෝලාහලයක් ඇතිවූයේ දෙදහස් විස්සේ මහර බන්ධනාගාරයේය. එහිදී රැඳවූවන් එකොළොස් දෙනෙක් මිය ගියද එකදු බන්ධනාගාර නිලධාරියකු හෝ මිය ගියේ නැත. රැඳවූවන් අතට ගිනි අවි පත්වූයේද නැත. එදා මහර බන්ධනාගාරයේ ගැටුම වූ අවස්ථාවේදී එහි බන්ධනාගාර අධිකාරී හැටියට රාජකාරි කළේ ජගත් වීරසිංහය. ඔහු මෑතකදී විශ්‍රාම ලැබුවේ බන්ධනාගාර කොමසාරිස්වරයකු ලෙසය. මේ, මීගමුවේ වූ සිද්ධියට හේතු හා බන්ධනාගාර ගැටුම් පාලනය ගැන ඔහු සමග කළ කතාබහකි. 


මීගමුව බන්ධනාගාරයේ කැරැල්ල අවසාන වූයේ මහා ඛේදවාචකයකින් මෙවැනි ගැටුමක් ඇති වුවහොත් එය පාලනය කිරීමට මුලින්ම කළ යුත්තේ මොනවාද?


මගේ අවුරුදු හතළිහක සේවා කාලයේදි මම බැලුවේම මේ හැම රැඳවූවෙක් දිහාම සැකයෙන්. මොකද අපි වැඩ කරන්නේ ෆයිල් එක්කවත් පෑන් පැන්සල් එක්කවත් නෙවෙයි. සක්‍රිය මිනිස්සුත් එක්කයි. මේ මිනිස්සු ඕනෑම මොහොතක වෙනස්වෙලා බන්ධනාගාරය ඇතුළේ කැරැල්ලක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම මොහොතක අපි බන්ධනාගාරය දිහා බලන්න ඕන සැකයෙන්.


උදාහරණයක් විදියට ගත්තාම අපි ළඟ රත්තරන් මාල, වළලු තියෙනවානේ. මේවා හොරෙක් අරගනීවි කියලනේ අපි ඒවා සේප්පුවක දාල ආරක්ෂා කරන්නෙ. ඒ සැකය නිසානෙ ඒවා ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපේ බන්ධනාගාර නිලධාරින් වුණත් හැමතිස්සෙම රාජකාරි කරද්දි බලන්න ඕන සැකයෙන්. ගැටුමක් වුණත් ඇතිවේවි යැයි සැකයෙන් හිතුවොත් එය පාලනය කරගන්න අසීරු වෙන්නෙ නැහැ.


ඇයි එසේ සැකයෙන් බලන්න ඕනේ කියන්නේ?


අපි මුලින්ම තේරුම් ගන්න ඕන බන්ධනාගාරයක් කියන්නෙ මොකක්ද කියලා. බන්ධනාගාරයක් කියන්නේ වැරැදි කළා හෝ වැරැදි කළැයි සැක කරන අය පොලිසිය භාරයට ගෙන අධිකරණයෙන් බන්ධනාගාරයට භාර දෙන පිරිසක් සිටින තැනක්. බන්ධනාගාරය කියන්නේ පුද්ගලයෙක් සමාජයෙන් කොන් කරලා වෙන් කරලා තියාගන්න තැනක්. මෙතන ඉන්න හැම කෙනෙක්ම වාගේ අපරාධකාරි චර්යාවක් තියෙන අයයි. එක්කෝ මනුෂ්‍ය ඝාතනයක් කළ අය. එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය. ස්ත්‍රී දූෂණයකට හෝ සම්බන්ධ වූ අය.


මහර බන්ධනාගාර කෝලාහලයේදී කිසිදු බන්ධනාගාර නිලධාරියකුට ජීවිත හානියක් වුණේ නැහැ. ඔබ කොහොමද එය පාලනය කළේ?


කොවිඩ් කාලේ ඒ සිද්ධිය වුණේ. හයසීයක් දාන්න ඕන තැන ඒ වෙද්දි තුන්දහස් තුන්සීයක් හිටියා. ඒ වෙද්දි ලංකාවෙ වැඩියෙන්ම රැඳවූවන් පිරිසක් හිටියේ මහර බන්ධනාගාරයේයි. එතැනිනුත් වැඩිපුරම හිටියේ දෙවාරයකට වැඩි වාර ගණනක් සිරගත වුණ අයයි. දරුණුම අයයි හිටියේ. අපි මේ අයට පී.සී.ආර්. කළා. ඒ මිනිස්සුන්ගේ මනස හොඳ වෙන්න කියලා සංගීත සංදර්ශනයකුත් කළා. එච්චර හොඳට තිබුණ හිරගෙදර පහුවදා හිටිගමන් වෙනස් වුණා. හැබැයි අපි හැමවෙලාවෙම සැකයෙන් තමයි රැඳවූවන් දිහා බැලුවෙ.


බහින්බස් වීමක් හෝ කැරැල්ලක් නිර්මාණය වෙමින් තියෙනවා නම් මුලින්ම කරන්න ඕන ඒ අයත් එක්ක සුහදව කතා කරන එකයි. ඒ කතා කරන තැනත් ඉතාම වැදගත්. අඩුම තරමේ කාර්යාලයටවත් යන්න හොඳ නැහැ. මොකද එයාල තුන්දාස් ගාණක් හිටියට බන්ධනාගාර නිලධාරින් ඉන්නෙ විස්සක් තිහක් වගේ. ඒ මිනිස්සුන්ට ඕන නම් විනාඩි ගාණක් ඇතුළත අපිව කෝටු මස් කරන්න පුළුවන්. ඒ හින්දා අපි කතා කරන්නත් ඕන ඕන වෙලාවක පස්සට යන්න පුළුවන් තැනක. ඒකට හොඳම තැන බන්ධනාගාරයේ යකඩ ගේට්ටුවෙන් එ්කෙන් පිටත. මොකද මොකක්හරි ප්‍රශ්නයක් වුණ ගමන් ඉක්මනටම ගේට්ටුවෙන් අනිත් පැත්තට යන්න පුළුවන්.


එදා මමත් එයාලා එක්ක කතා කළේ අයන් ගේට් එක ළඟදි. එයාලා අපිට දෙන්න බැරි ඉල්ලීම් ඉල්ලුවා. මම එයාලව ෂේප් කරගත්තත් මට තේරුණා එකපාරටම නොසන්සුන් වෙනවා කියලා. මම ඉක්මනට මගේ නිලධාරින් ඔක්කොම අල්ලගෙන යකඩ ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් අගුළු දැම්මා. යකඩ ගේට්ටුවයි ලී ගේට්ටුවයි අතර තමයි අපේ අවි ගබඩාව ඇතුළු ගබඩා ටික තියෙන්නේ. මම ඉක්මනට මගේ නිලධාරින් ලවා විනාඩි ගාණක් ඇතුළත අවි ගබඩාව හිස් කළා. සිරකරුවෙක්ගේ පළමු ඉලක්කය තමයි අවි ගබඩාවට පහර දීම. ඒත් එයාලා හිතන්නත් කලින් මම ආමරිය ඉවත් කරගත්තා. මොකද සාමාන්‍යයෙන් ආමරියේ ගිනි අවි හැත්තෑ පහක් වගේ තියෙනවා. ඊට පස්සෙ අපි කළේ මේ ගැන දැනුම්දෙන්න ඕන අනෙක් ආයතනවලට දැනුම්දෙන එකයි. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න මම කල් තියා දුරකතන අංක ඇතුළත් ලැයිස්තුවක් හදල තිබ්බා. විශේෂ කාර්ය බළකාය, පොලිසිය, රෝහල, ගිලන්රථවලට ඉක්මනටම දැනුම් දුන්නා. මොකද මම ඊළඟට කළ යුතුව තිබුණේ තාප්ප වටේම ආරක්ෂාව තර කිරීමයි. ඒත් මම අපේ කිසිම නිලධාරියකුට මුලින්ම වෙඩි තියන්න අණ දුන්නෙ නැහැ. කුලුනුවලටත් නිලධාරින් නැග්ගුවා.


හැබැයි අවසානයේදී තත්ත්වය පාලනය කරන්න වෙඩි තියන්න වුණා නේද?


ඔව්. හැබැයි මුලින්ම වුණේ රැඳවූවන් දෙපැත්තට බෙදිලා ගහගන්න එකයි. මම ඒ වෙලාවේ අපේ අයට වෙඩි තියන්න දුන්නෙ නැහැ. හැම නිලධාරියකුටම වගේ දුරකතන දීලා ඇතුළේ මොනවද වෙන්නෙ කියලා වීඩියෝ කරන්න කිව්වා. මේ වෙද්දි අයන් ගේට්ටුව ළඟ දාහක් වගේ හිටියා. මං එයාලට ස්පීකර් එක දාලා කතා කළා. පුතාලා ප්‍රශ්න ඇතිකරගන්න එපා කියලා සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කිව්වා. මොකද මුලින්ම කරන්න ඕන අවවාද කරන එකයි. හැබැයි එයාල කියන දේ ඇහුවෙ නෑ, අපේ තාප්ප කඩලා අයන් ගේට්ටුවට ගල්වලින් ගහන්න ගත්තා. මම ඊළඟට කළේ කඳුළු ගෑස් ගහපු එක. ඒත් එයාල ඒකටත් පාලනය වුණේ නෑ. කඳුළු ගෑස් අපේ පැත්තට එවන්න ගත්තා. ඊළඟට අපි රබර් උණ්ඩවලින් වෙඩි තිබ්බා.


මේ කිසිම වෙලාවක බන්ධනාගාර නිලධාරීන් රැඳවූවන් අතරට ගියේ නැහැ නේද?


නැහැ. අපි ඔක්කොම හිටියේ අයන් ගේට්ටුවෙන් එහා පැත්තේ. රෑ වෙද්දි මේ අය අපේ කාර්යාල ගිනි තිබ්බා. රජයේ දේපළවලට හානි කරන්න පටන් ගත්තම තවත් අපට බලාගෙනන ඉන්න බැහැ. බන්ධනාගාරය කඩාගෙන යනවා නම් හෝ රජයේ දේපළවලට හානි කරනවා නම් අපේ බන්ධනාගාර ආඥා පනතට අනුව අපිට බලතල තියෙනවා වෙඩි තියන්න. අපේ කාර්යාලයට ගිනි තියද්දි හරි නම් අපිට වෙඩි තියන්න පුළුවන්. ඒත් මම තවත් ඉවසුවා. අහසට වෙඩි තියන්න මම අණ දුන්නා. ඒත් පාලනය වුණේ නැහැ. හැබැයි මේ වෙද්දි ලොකු අනතුරක් අත ළඟ තිබුණා. මොකද රැඳවූවන් භාගයකට විතර මේ වෙද්දී කොරෝනා ආසාදනය වෙලා හිටියේ. තුන්දාහකට වැඩි පිරිසක් යකඩ ගේට්ටුව කඩාගෙන බන්ධනාගාරයෙන් එළියට ගියොත් මහරට ළඟ තිබෙන මුළු කඩවත නගරයම ඉවරයි. ඒ නිසා කරන්නම බැරි තැන දණහිසෙන් පහළට වෙඩි තියන්න මම අපේ අයට අණ දුන්නා. සමහර වෙලාවට ඇඟට වදින්න ඇති. මිනිස්සු තෝරලා අපි වෙඩි තිබ්බේ නැහැ. වෙඩි වැදුණු හැමෝම අපිට පුළුවන් විදියට රැඳවූවන්ටම කියලා රෝහලටත් අරගෙන ගියා. ඇතුළෙ මැරෙන්න දුන්නේ නෑ. බේරගන්න උත්සාහ කළා. හැබැයි දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.


සිද්ධියෙන් පස්සේ තත්ත්වය පාලනය කළේ කොහොමද?


මිනිස්සු එළියට දාලා දවස් දෙක තුනක් ගියාට පස්සේ මම, බන්ධනාගාර, පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් තමයි බන්ධනාගාරයට යැව්වේ. එතකොට මේ වෙද්දි රැඳවූවන්ගේ ශක්තිය හීනවෙලා. අපිට විමර්ශන කරන්න පහසුයි. එහෙම කරලයි අපි මහර බන්ධනාගාරය බේරාගත්තේ.


ගිය ඉරිදා පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ ගැටුමක් ඇතිවෙලා තියෙද්දි ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බළකා නිලධාරී කණ්ඩායම පසුදිනම බන්ධනාගාරයට ඇතුළු වුණා නේද?


මීගමුවේ සිද්ධිය මම ඇස් දෙකෙන් දැක්කේ නැහැ. හැබැයි කියන විදියට නම් ඉරිදා රාත්‍රි වෙද්දි තත්ත්වය පාලනය වෙලා. එහෙම තියෙද්දි යම්කිසි විශ්වාසයක් මත වෙන්න ඕනෑ නිරායුධ නිලධාරීන් පිරිසක් බන්ධනාගාරයට යැව්වේ. මේ අය කෑම දෙන්නයි ඇතුළට ගියේ කියනවා. ඒත් කලින් දවසේ සිද්ධියක් වුණ නිසා ඒ ගැන සැකයෙන් බැලුවා නම් සූදානම් පිට ඇතුළට යන්න තිබුණා. හෙල්මට්, ජැකට් දාගෙන බැටන් අරගෙන යන්න තිබුණා. සන්නද්ධව ගියා නම් මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබුණා.


සම්පූර්ණයෙන් තත්ත්වය පාලනය වෙලා තිබුණා නම් අපේ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් ඇඳුමකින් තමයි අපි ඇතුළට යන්න ඕනෑ. මම දන්නෙ නැහැ ඇයි සිවිල් ඇඳුමෙන් ගියේ කියලා. නිල ඇඳුමෙන් ගියා නම් පහර දෙන්න කලින් දෙසැරයක් හිතනවා. ඕනම සිරකාරයෙක් නිල ඇඳුමට ගහන්න දෙසැරයක් හිතනවා. අනිත් කාරණය මේ නිලධාරීන් කවුද කියලාවත් රැඳවූවන් දන්නේ නැතුව ඇති.


සිද්ධිය සමථයකට පත්වෙලා නැහැ කියලා හිතුවා නම් දවස් දෙක තුනක් පමාවෙලා යන්න තිබුණා. මොකද උසාවි යාමත් වෙලාවෙ හැටියට අත්‍යාවශ්‍ය නැහැ. ඇතුළේ තත්ත්වය ගැන අධිකරණයට දන්වන්න පුළුවන්. විසිට් පෙන්වීමත් එහෙමයි. තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරගෙන සර්ච් කරන්න තිබුණා. මොනවා වුණත් මෙහෙම ගිය එකෙන් වුණේ දක්ෂ නිලධාරී කණ්ඩායමක් ජීවිතක්ෂයට පත්වීමයි. හැබැයි මේ අය පෙරළා පහර දේවි කියලා සැකයෙන් බැලුවා නම් නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂා කරගන්න තිබුණා. බන්ධනාගාර කැරැල්ලකට උපායශීලීව, සූක්ෂමව මුහුණ දෙන්න ඕනෑ.


දිගින් දිගටම රැඳවූවන් එකිනෙකා අතරේ ගැටුමක් තිබුණොත් මොකද කරන්නෙ...


දිගටම ගැටුම් තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ උඩ ඉඳන් ස්පීකර්වලින් කතා කරන එක. පුළුවන් තරම් දවස් දෙකක් හෝ තුනක් අල්ලන් ඉන්න එකයි. නැත්නම් නිකරුණේ මිනිස්සු නැතිවෙනවා. එයාලටම ප්‍රශ්නය විසඳගන්න වෙලාව දුන්නා නම් හෙම්බත්වෙනවා. එයාලට කුඩු සප්ලයි එක නවතිනවා. කෑම බීම නවතිනවා. එයාල දන්නවා පිටින් මොකුත් නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. ඒ නිසා එයාල එහෙමම සන්සුන් වෙනවා. උපරිම දවස් දෙක තුනක් අල්ලගෙන ඉඳිවි.


නිලධාරින්ටත් බන්ධනාගාරයට යන්න බැරි නම් කෑම දෙන්නෙ කොහොමද?


මහර බන්ධනාගාරයේ ගැටුම වෙලාවෙදි අපේ කුස්සි පාටිය පිච්චුවා. අපිට ඇතුළෙ උයන්න බැහැ. මම කළේ වැලිකඩින් ගෙනැත් කෑම ඇතුළට දැම්මා. ප්‍රශ්නයක් ඇතිවුණ වෙලාවට අපිට යන්න බැරි නම් අපි කරන්නේ ළඟ තියෙන බන්ධනාගාරවලින් අඩුපාඩු සපුරාගන්න එකයි. මීගමුව බන්ධනාගාරයේදීත් වුණේ එහෙම දෙයක්ද කියලා අපි දන්නෙ නැහැ.


බන්ධනාගාර නිලධාරීන් රැඳවූවන් අතරට යද්දි රාජකාරි ඇඳුමෙන්ම යන්න ඕනද?


සාමාන්‍යයෙන් සියයට අනූවක් විතරම යන්නේ රාජකාරී නිල ඇඳුමෙන්. සිවිල් ඇඳුමෙන් යන්න පුළුවන් පුනරුත්ථාපන නිලධාරින්ට විතරයි. මොකද එයාලට නිල ඇඳුමක් නැති හින්දා. බන්ධනාගාර අධිකාරී ඉඳලා පහළ නිලධාරින් හැමෝම යන්න ඕනෑ නිල ඇඳුමෙන්. එය පවතින සම්ප්‍රදායක් සහ නීතියක්. සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා රාජකාරි කරන්න අවසර දීලා නැහැ. ගැටුමක් ඇතිවුණු අවස්ථාවක කොහොමත් නිල ඇඳුමෙන් යාම විශේෂයි. මොකද නිල ඇඳුමෙන් තමයි මේ ඉන්නෙ බන්ධනාගාර නිලධාරියෙක් කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ.


බන්ධනාගාර නිලධාරියකුට ගිනි අවි රැගෙන බන්ධනාගාරයට යන්න පුළුවන්ද?


ඔව් පුළුවන්. රජයේ දේපළක් හානි කරනකොට, පැන යාමට උත්සාහ කරනකොට සහ මනුෂ්‍ය ඝාතනයක් කරනකොට වගේ අවස්ථාවලදී ගිනි අවි රැගෙන බන්ධනාගාරයට යන්නත් වෙඩි තියන්නත් බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර ආඥා පනතට අනුව අවසර තියෙනවා. සාමාන්‍ය අවස්ථාවලදී ගිනි අවි රැගෙන බන්ධනාගාරයට යාමට අවසර නැහැ. හැබැයි හැම බන්ධනාගාරයකම මුළු හතරේ ගිනි අවි අතැති නිලධාරීන් ඉන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එයාලට බන්ධනාගාරයේ ඇතුළේ පේනවා. කවුරුහරි තාප්පයෙන් පනින්න උත්සාහ කළොත් එයාලට වෙඩි තියන්න පුළුවන්.


බන්ධනාගාර ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් හැරුණුකොට පොලිසිය හෝ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ආයුධ සන්නද්ධව බන්ධනාගාරයට යන්න අවසර තියෙනවද?


යන්න පුළුවන්. බන්ධනාගාර කොමසාරිස්තුමාගේ සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ අවසර ඇතිවයි යන්න ඕනෑ. එහෙම ගියත් නායකත්වය ගන්න ඕනෑ බන්ධනාගාර අධිකාරී කෙනෙක්.


රැඳවූවන් සමග ගනුදෙනු කරද්දි අත්දැකීම් අඩු නිලධාරින් යෙදෙව්වොත් ගැටුම් අවස්ථාවකදී ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා නේද?


බන්ධනාගාරයේ ඉන්නෙ අපරාධකාරි චර්යාවලට නැඹුරු වුණ අමුතු මිනිස්සු ටිකක්. ඒ අය මොකද කරන්නෙ කියලා හිතාගන්න බැහැ. බන්ධනාගාර නිලධාරියා අත්දැකීම්වලින් බහුල කෙනෙක් නම් රැඳවූවා හැරෙද්දි දන්නවා ඊළඟට මොකක්ද කරන්නෙ කියලා. නිලධාරියකුට වැඩිපුර අවශ්‍ය වෙන්නේ පොතපතේ දැනුම නෙවෙයි සජීවි අත්දැකීම්. අත්දැකීම් තමයි තමන්ගේ රාජකාරිය හරියට කරන්න දමන ශක්තිමත් අඩිතාලම. මම වුණත් එකපාර අධිකාරි කෙනෙක් වුණේ නැහැ. ජේලර් කෙනෙක්වෙලා. චීෆ් ජේලර් කෙනෙක්වෙලා ගත් අත්දැකීම් තමයි මහර බන්ධනාගාරයේ සිද්ධිය පාලනය කරන්න මම යොදාගත්තෙ. ඒ අත්දැකීම් නැති වුණොත් මම බය වෙනවා. නියෝගයක්වත් දෙන්න බැරිවෙනවා. මුහුණ දෙන්න බැරිවෙනවා. කවුරු කොහොම කිව්වත් එළියෙ හිටියාම ඇතුළේ තත්ත්වය තේරුම් ගන්න බැහැ. ඇතුළට ගිහිල්ලාමයි එය ඉගෙන ගන්න ඕනෑ. මරණ බය දැනෙන්න ඕන. ගැටුමක් වුණ තැනකට වුණත් ආධුනික නිලධාරියෙක් යනවා නම් යන්න ඕන පරිණත නිලධාරියෙක් සමගයි. එතකොට ඒ නිලධාරියාගේ අණට කීකරුවෙලා රාජකාරිය කරන්න පුළුවන්.


හදිසි අවස්ථාවකදී ගැටලුවක් වෙන බව දැන දැනම ගිනි අවි ගබඩා බන්ධනාගාර ඇතුළේ තියෙන්නෙ ඇයි?


අවදානම තියෙන්නෙ මේ වගේ වෙලාවක අපි ගන්නා ක්‍රියාමාර්ග මතයි. මේ ආමරිය පිටතට ගේන්න කලක ඉඳන් යෝජනා ආවත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද අධික වියදමක් දරන්න වෙන නිසා. මහරදී එකම ගිනිඅවියක්වත් රැඳවූවන්ට ගන්න බැරි වුණා. ගැටුම් අවස්ථාවකදී අධිකාරිවරයාගේ භූමිකාව අනුවයි තත්ත්වය තීරණය වෙන්නෙ.


අපේ රටේ බන්ධනාගාරවල ඉඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව නිසා ගැටුම් පාලනය කිරීමේදී අසීරුතා වැඩියි නේද?


ඔව්. ලංකාවේ බන්ධනාගාර තිස් හයක් තියෙනවා. දහ දහස් පන්සීයක් පමණයි දාන්න ඉඩකඩ තියෙන්නෙ. හැබැයි මේ වෙද්දි හතළිස් තුන්දහසක් ඉන්නවා. සියයට හාරසීයක වැඩිවීමක්. බන්ධනාගාරවල වැඩිපුරම ඉන්නෙ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය. අපේ නිලධාරින් ඉන්නෙ පන්දහස් ගණනක්. අපේ නිලධාරින් කොච්චර අමාරු ජීවිතයක්ද ගතකරන්නෙ. පැය විසිහතරම වැඩ කරන නිලධාරින් ඉන්නවා. බන්ධනාගාර නිලධාරින් කන කට්ට වෙන කිසිම නිලධාරියෙක් මුහුණ දෙන්නෙ නැහැ.


රැඳවූවන් පරීක්ෂා කරන අවස්ථාවකදී පවා නිලධාරින් අසීරුතාවලට මුහුණ දෙනවා. රැඳවූවන් වැඩි වෙන තරමට නිලධාරින්ට තියෙන අපහසුතා වැඩියි.


අවශ්‍ය පහසුකම් නැතුව කොහොමද රැඳවූවන් හොඳ මිනිස්සු කරලා සමාජයට දෙන්නෙ? නොයා යුතු තැන කියලා සංකල්පයක් ගෙනල්ලා මත්ද්‍රව්‍ය ආදීනව ගැන දරුවන් දැනුවත් කරන්න මම පටන් ගත්තෙ ඒකයි. මට වුවමනා වුණේ බන්ධනාගාරගත නොවන තැනට රට තල්ලු කරන්නයි.


සාමාන්‍ය රැඳවූවන් වගේම පාතාල සාමාජිකයන් එකම බන්ධනාගාරයක රඳවා තිබීමෙන් ගැටලු වැඩියි නේද? මීගමුව බන්ධනාගාරයේදීත් රැඳවූවන්ගේ ඥාතීන්ගෙන් ඒ චෝදනාව එල්ල වුණා...


සිරගෙදරදී පොඩි වර්ගීකරණයක් තියෙනවා. වාට්ටු වෙන් කරලායි දාන්නෙ. හැබැයි දවල් කාලයේදී හැමෝම එකට ඉන්නෙ. මෙතැනදීත් තියෙන්නෙ ඉඩකඩ ප්‍රශ්නයයි. ඒ නිසා හරියට තෝරලා බේරලා වෙන් කරන්න අමාරුයි. වෙන කරන්න දෙයක් නැති නිසායි හැමෝම එකට ඉන්නෙ.


බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය යනවා නම් එයටත් වගකියන්න ඕන බන්ධනාගාර නිලධාරින් නේද?


අනිවාර්යෙන්ම. මේකෙ ඉන්නෙ සක්‍රිය මිනිස්සු. බන්ධනාගාර තියෙන්නෙ නගරාසන්නව. මේ අයට වැඩිපුම මත්ද්‍රව්‍ය ලැබෙන්නෙ එළියෙ ඉඳලා තාප්පයට ඉහළින් මත්ද්‍රව්‍ය පාර්සල් විසිකරන එකෙන්. මෙන්න මේ වෙලාවෙදී පාර්සල් එක විසිකරනවා කියලා සමහරු විසිට් එකේදි කියනවා. ඒවායින් අපිට හමුවෙන්නෙ සියයට පනහක් විතරයි. සමහරු ගුද මාර්ගයේ මත්ද්‍රව්‍ය හංගගෙන එනවා. අපි පරීක්ෂා කළාට අහුවෙන්නෙ නැහැ. වෛද්‍යවරු පවා බලන්න කැමැති නැහැ මානව හිමිකම් කියලා. සමහරු ඉටිකොළවගේ පැකට් හදලා ගිලලා මොනවහරි පොඩි කේස් එකක් දාගෙන පොලිසියට අහුවෙලා ඇතුළට එනවා. බිස්නස් එකටමයි කරන්නෙ. ස්කෑනර් මැෂින් එක තිබුණත් සමහර වෙලාවට අහුවෙන්නෑ. හැමෝම ස්කෑන් මැෂින් එකට දාන්නෙත් නැහැ. උදාහරණයක් විදියට ගත්තාම මැගසින් බන්ධනාගාරයේ පන්සීයක් විතර උසාවි යනවා. එක්කෙනෙක් පරීක්ෂා කරන්න විනාඩි පහක් වගේ යනවා නම් කොහොමද ඔක්කොම පරීක්ෂා කරන්නෙ. ප්‍රායෝගික නැහැ. හදවතේ ගැස්ම, හැසිරීම් පරීක්ෂා කරලා ස්කෑන් මැෂින් එකට දානවා. මේ අතරේ රැඳවූවන්ට උදව් කරන නිලධාරිනුත් ඉන්නවා. හැබැයි නිලධාරින් පවා අපි පරීක්ෂා කරලයි බන්ධනාගාරයට යවන්නෙ.

 

More News..