brand logo
logo
ඇමරිකාවේ රැකවරණය පතන ‌ දෙලක්ෂයකට රතු එළි

ඇමරිකාවේ රැකවරණය පතන ‌ දෙලක්ෂයකට රතු එළි

26 August 2026 | වසන්ත විජේරත්න

ඇමරිකාවේ රැකවරණය අපේක්ෂා කරන 200,000ක් පමණ විදෙස් සංක්‍රමණිකයන් සඳහා සංචාරක හා ව්‍යාපාරික වීසා අවලංගු කිරීමට ඇමරිකාව තීරණය කොට තිබේ. මෙය දැනට එහි රැකවරණය අපේක්ෂාවෙන් පසුවන හා දැනටමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇති විදේශිකයන්ටද අදාළ වේ.


ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත හා උසස් නිලධාරීන් දෙදෙනකුගේ ප්‍රකාශ පදනම් කරගනිමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ එය ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම තනි වීසා තහනම එය වනු ඇති බවයි.


ඒ අනුව ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේද (DHS) සම්බන්ධීකරණය ලබාගෙන ඉදිරි සති කිහිපය තුළදී ක්‍රියාවලිය ආරම්භ කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.


2016-2026 කාලය අතරතුර හඳුන්වා දුන් B1 හා B2 වීසා ක්‍රියාවලීන් සඳහා මෙය අදාළ වනු ඇත.

‘‘අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (DHS) සමග සම්බන්ධීකරණය වෙමින් මීට අදාළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අප ක්‍රියා කරනවා. ඔවුන් අතර සිටින්නේ තාවකාලික පදනම මත මෙරටට පැමිණ පසුව ඇමරිකාවේ ස්ථිරව රැඳී සිටීමට ඉල්ලුම් කළ සංක්‍රමණික නොවන විදේශිකයන්.’’

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගොට් පවසා තිබිණි.


කෙසේ වෙතත් මෙම පියවර හරහා එම පිරිස රටින් පිටුවහල් කිරීමේ තත්ත්වයක් ඍජුව නිර්මාණය නොවන බව බලධාරීන්ගේ අදහසයි. ඒ වෙනුවට ඇමරිකාවේ පදිංචිය අපේක්ෂාවෙන් සිටින විශාල පිරිසක් සංක්‍රමණික වර්ග කිරීමකට ලක් කෙරෙනු ඇත. ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු හා සංචාරක භාවය අහෝසි වීම සිදුවේ.


පෙරේදා (සඳුදා) සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කරමින් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ සරණාගත වීසා වෙනුවට යළිත් සංචාරක හෝ ව්‍යාපාරික වීසා හරහා ඉල්ලුම් කරන ලෙසය.


‘‘ඇමරිකාව තුළත් ලෝකයේ වෙනත් ප්‍රදේශවලත් සිටින බොහෝ දෙනකු ව්‍යාජ සරණාගත භාවයක් මවා පෙන්වමින් පෝෂණය ලබනවා. සංක්‍රමණික නීතිවල සිදුරු හරහා පිළිසරණ පතා ඒමට තවදුරටත් ඉඩ තැබීමට නොහැකියි’’ලැන්ඩෝ ප්‍රකාශ කොට තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් පසු සංක්‍රමණික කටයුතු දැඩි ලෙස සීමා කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා ඉල්ලුම් කරන්නන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් තෝරාගත් රටවල් රැසක වැසියන්ගේ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමටත් පියවර ගනු ලැබිණි.


ඔහුගේ පරිපාලනය විසින් ගනු ලැබූ තවත් විවාදාත්මක පියවරක් වූයේ රැකියා වීසාවල කාලය දිගු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 103,265ක ගාස්තුවක් අය කිරීමයි. මෙය H-1B රැකියා වීසා ඉලක්ක කරගෙන බලාත්මක කෙරුණි. ඒ අනුව තාක්ෂණික, අධ්‍යාපන හා පර්‌යේෂණ කටයුතු ආශ්‍රිත රැකියාවල යෙදී සිටින විදේශිකයන් සඳහා එය සෘජුව බලපෑවේය.


පසුගිය වසරේද ට්‍රම්ප් රජය විසින් සිය වීසා වැඩසටහන සඳහා ඩොලර් 100,000ක තාවකාලික ගාස්තුවක් නියම කරනු ලැබීය. එහෙත් එරට අධිකරණයක් විසින් එය නීතිවිරෝධී බවට ප්‍රකාශ කෙරුණි.

පසුගිය වසරේ ට්‍රම්ප් හඳුන්වා දුන් H-1B වීසා ගාස්තුව ඩොලර් 2000-5000 අතර අගයකින් ඉහළ ගියේය. ඒ, අදාළ ක්ෂේත්‍රය අනුවය.


පසුගිය වසර එකහමාරක කාලය තුළ වීසා ඉල්ලුම්පත් 175,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ. ඉන් බහුතරයක්ම බීමත්ව රිය පැදවීම, මංකොල්ල කෑම හා ස්ත්‍රී දූෂණවලට චෝදනා ලැබූවන්ගේය. එසේම එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කළ පුද්ගලයන්ගේ වීසා ඉල්ලීම්ද අවලංගු කෙරුණි. ඊට මැද පෙරදිග යුද්ධය සම්බන්ධ විවේචන විශේෂයෙන් සලකා බලා ඇත.

 

More News..