brand logo
logo
මෙරට UAE තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

මෙරට UAE තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

02 October 2026

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.


දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය පළ කළාය.


එළැඹෙන දෙසැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුව සඳහා සහභාගී වන ලෙස තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ආරාධනා කරන ලදී.


අනතුරුව ජල කළමනාකරණය සහ ජල සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර, ජලය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට තිරසර හා දිගුකාලීන විසඳුම් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.


කුසලතාපූර්ණ ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිපුණ ශ්‍රමිකයන් සඳහා පවතින අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන උනන්දුව පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගීතාව දැක්වීමට පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළේය.


ශ්‍රී ලංකාව කලාපීය ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එමගින් ආයෝජන සහ නිපුණතා සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

 

More News..