කොළඹ යට වූණේ කාගේ වරදින්ද?
14 November 2026 | අනීෂා මානගේ
කොළඹ යට වූණේ කාගේ වරදින්ද?
14 November 2026 | අනීෂා මානගේ
කොළොම්පුරය වට කරගත් මහා වැවකි. ඒ වැවේ තැනින් තැන දූපත් ය. ඒවායේ වගාකර තිබුණේ කුරුඳු හා පොල් ය. ඒ වැවේ ඔරු, පාරු ගියේය. අශ්ව කරත්ත, ගැල් ආදී මෙකී නොකී ගොඩබිම් වාහනවලට වඩා එකල බොහෝ ජනප්‍රිය වාහනය වූයේ ඔරු පාරුය. පිරිසක් ඒවායේ විනෝදයට යද්දි තවත් පිරිසක් බඩු බාහිරාදිය රැගෙන ගියහ.
කොළඹ වැවේ එදා අසිරිය අපේ ඉතිහාස පොතට එකතු වී සියවස් ගණනාවක් ගෙවී තිබුණද ගිය සතියේ රට්ටුන්ට එදා කොළොම්තොට යළි සියැසින් දැකගන්නට මග පෑදුණේය. ඒ, කොළොම්පුරයම මහා වැවක් බවට පත්ව තිබූ නිසාය. ඔරු, පාරු කෙසේ වෙතත් රෝද හතරේ වාහන එහි පාවුණේය. දණක් ළඟට ජලයේ බැස තෙතබරිත වී යන්නට කොළොම්තොටට ආ ගිය වැසියන්ට සිද්ධ වුණේය.
රට්ටුන්ට ඉතිහාසය මතක් කර දුන්නේ ඉකුත් හය වැනිදා හවස හයේ සිට හතහමාර දක්වා කොළඹට ඇද හැලුණු වරුසාවය. කොළොම්තොට අසිරිය කෙසේ වෙතත් සිකුරාදාවක් වූ එදා රට්ටු ගෙදර යන්නට මගතොට කිමිදුණේ නැති ටික විතරය. දීපවාලි හඳ දකින්නට නිවෙස්බලා යන්නට සැරසුණු කන්ද උඩරට උපන් වැසියෝ උභතෝකෝටිකයක සිරවූහ. මන්ද යත් හැටන්, බදුල්ල, පස්සර, ඩයගම ආදී කඳුකරය බලා යන බස් ඇති බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ ද කොළඹ වැවේ සිරි ගත් නිසාය.
සති අන්තයේ ගෙදර ගිය උදවිය පමණක් නොවේ කොළඹ මහ ඉස්පිරිතාලේ සහ නොරිස් කැනල් පාරේ පිහිටි පෞද්ගලික රෝහලට ආ රෝගීහු පවා අසීරුතාවට පත්වූහ. ඒ මන්ද යත් දශක තුනක ඉතිහාසයේ නොවූ විරූ අන්දමට කොළඹ මහ ඉස්පිරිතාලෙටද වැස්සෙන් දිවි බේරා ගන්නට නොහැකි වූ නිසාය. නොරිස් කැනල් පාර දෙපස වාහන කඩදාසි ඔරු මෙන් පාවෙන්නට ගත්තේ අඩි කිහිපයක් ජලයෙන් යට වී තිබූ නිසාය. කොළඹ පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය, මාලිගාවත්ත, ආමර් වීදිය ආදී බොහෝ ප්‍රදේශ අඩි කිහිපයක් ජලයෙන් යට වුණේය. පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණය පොකුණක් බවට පත්ව තිබුණේය. කොළඹ නගරය මිහිපිට අපායක් බවට පෙරළන්නට පැය එකහමාරක වැස්සට අසීරු නොවීය. ඒ අපායේ වින්දිතයන් බවට පත්වූ රථවාහන පැය ගණනාවක් තිස්සේ කොළඹ මං මාවත් අවහිර කළේය.
කොළඹට වූ සන්තෑසිය දැක තවදුරටත් මුනිවත රකින්නට පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර්ට නොහැකි විය. ඊට හේතු වූයේ කොළොම්පුරය ජල රකුසාට බිලිවීමේ වගඋත්තරකරු හැටියට ඇඟිල්ල දිගු වූයේ කොළඹ මහ නගර සභාවේ පැත්තට වීම නිසාය. නගරවැසියෝ චෝදනා කළේ කොළඹ නගරය ජලයෙන් යට වූයේ නගර සභාවේ වැරැද්දෙන් බවය. කානු පද්ධති අපද්‍රව්‍යවලින් පිරී තිබීමෙන් ජලය බැස යාම අවහිර වුණැයි කියාය. ඒ චෝදනාවට එකහෙළා විරුද්ධ වූ පුරපතිනිය කරුණු කාරණා පැහැදිලි කරන්නට ගත්තේ මහ නගර සභාවේ පැත්තේ හිටගෙනය. ඇය කීවේ කොළඹ කානු නිර්මාණය කර ඇත්තේ මිලිමීටර තිහක වැස්සකට ඔරොත්තු දෙන පරිද්දෙන් වුවද එදා ඇද හැලුණේ මිලිමීටර එකසිය විසිනවයක අසාමාන්‍ය වැස්සක් බවය. ඒ අතරේ තවත් පිරිසක් කොළඹ දිසාපති හාමුදුරුවෝ දඬු කඳේ ගැසිය යුතු බව යෝජනා කළෝය. ඒ, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී කානු සුද්ද කරන්නැයි අගමැති කට කැඩෙනතුරු කී කතාව ඉටු නොකිරීමේ වරදටය. ඇත්තටම කොළඹ නගර සභා සීමාවේ ගංවතුර ගැලූ විට ඊට දිසාපති වගකිව යුතුද?
කොළඹ කානු ගැන පුරපතිනිය කී දිග පළල ගැන සැබෑ තතු දැනගන්නට අපට තිබූ වුවමනාව නිසාම මේ ගැන විමසන්නට සිතුවේ කොළඹ හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගරගෙනි. දිගු කලක් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි කළ ඔහු ස්වාභාවික ආපදා බොහෝමයකට මුහුණ දී ඇතුවාට සැක නැත.
“මම රාජකාරි කළ කාලයේ අපි ලොකු ආපදාවකට මුහුණ දුන්නා. ඒ 2016 වසරේදී. හැබැයි ඒ වෙලාවේ කොළඹ යට වුණේ නැහැ. ගස්වැටිලා පාරවල් ගොඩක් අවහිර වුණා. ඒකට හේතු වුණේ පාරවල් හදද්දි ගස්වල මුල් කපපු නිසා මහ වැස්සට පෙඟුණාම ගස් වැටුණු එකයි. මිලිමීටර දෙතුන්සීයක් වගේ වැහැලත් කානු පද්ධති අවහිරවෙලා වැහි වතුරෙන් කොළඹ යටවුණේ නෑ. ලොකු වැස්සක් වැටෙනකොට ගොඩක් තැන්වල අඟල් කිහිපයක වතුර එකතු වෙන්න පුළුවන්. වැස්ස පායනකොට වතුර බැහැල යනවා. හැබැයි මෙදා සැරේ වුණේ එහෙම නෙවෙයි...”
“නගරාධිපතිනිය කියන විදියට කොළඹ කානු ඔරොත්තු දෙන්නෙ මිලිමීටර තිහක වැස්සකට විතරද?”
“නැහැ. ඒක එච්චර පිළිගන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒ මට්ටමට වඩා පුළුල් කරල තියෙන්නෙ. වර්ෂාව මිලිමීටර සීයක් එකසිය විස්සක් ඔරොත්තු දෙන කානු පද්ධතියක් කොළඹ තියෙනවා. 2011 දී මිලිමීටර හාරසිය ගාණක් වැස්සා. එහෙම වැස්සා නම් කොහොමත් යටවෙන්න පුළුවන්. ලොකු වැස්සක් නැතුව මෙච්චර දරුණු තත්ත්වයක් ආවා කියන්නෙ එතන පරිපාලනමය දුර්වලතාවක් තියෙනවා. ඇළ මාර්ග පද්ධතිවල මෙදා සැරේ ගැටලුවක් නැහැ. ඇළ දක්වා වතුර ගේන කානුවලයි ගැටලුව තිබුණේ. කානු අයිති නගර සභාවට. කානු හරියට තිබුණා නම් වැඩිපුර යටවෙන්නේ ඇළ මාර්ගයි. නගර සභාව සතුව කළමනාකරණ සැලැස්මක් තියෙන්න ඕනෑ. යටවෙන තැන් සහ එතැනට ළඟාවෙන්නෙ කොහොමද කියලා සැලසුම් තියෙන්න ඕන. ඒවා දැන් හොයාගත්තට වැඩක් නෑ. දැන් හොයාගන්නව කියන්නෙ කලින් කරන්න තිබුණ වැඩේ කරල නැහැ කියන එකනෙ. මහ නගර සභාවේ සේවකයන් දොළොස්දහසක් ඉන්නවා. ඒ අයත් ඇතුළුව මහ නගර සභාව කොළඹ යටවීමට වගකියන්න ඕනෑ..” යැයි හිටපු දිසාපති සුනිල් කන්නන්ගර ද කොළඹ මහ නගර සභාවට ඇඟිල්ලක් දිගු කළේය.
කොහොමත් කොළඹ මහ නගර සභාවේ වැඩ රාජකාරි ගැන කලක පටන් රට්ටු සිටියේ එතරම් පැහැදීමකින් නොවේ. කානුවලට ඔරොත්තු නොදෙන වැහි ඇද හැලුණැයි කීවද වැහි නැවතී දින ගණන් යනතුරු ජලය එකතු වී පල්වෙන තැන් අදටත් ඇති බව කැට තියා කියන්නට පුළුවන. මාලිගාවත්ත වකුගඩු රෝහල ඉදිරිපිට එවැනි තැනක් ය. ගිය සිකුරාදා ඇද හැලුණු වරුසාවට එතැන එකතු වූ ජලය බැස ගියේ දින හතර පහකට පසුවය. ගිය බදාදා වැස්සෙන් යළි එතැන පිරුණේය. ළඟම ඇළ මාර්ගයක් තිබුණත් කළු පැහැ ගැන්වුණු අපද්‍රව්‍ය මිශ්‍ර වැහි ජලය කානු ඔස්සේ ඇළට ගලා නොගොස් මහපාරේ හිරවෙලාය.
වැහි දිනයකදී පංචිකාවත්ත හන්දිය බස් නැවතුමෙන් බසයකට ගොඩවෙන්නට පදික වේදිකාවේ සිට බසයේ පාපුවරුවට පාලමක්වත් බඳින්නට ඕනෑය. චුරු චුරු වැස්සටත් යටවෙන එතැන එකතු වන ජලය, කානු සමග නොගැළපෙන දීගෙකය.
කොළඹ මහ නගර සභාව මෑත කාලයේ රට්ටුන්ට දැනෙන රාජකාරියක් කළේ නම් ඒ පිටකොටුව බස් නැවතුමේ කඩ ඉවත් කළා විතරය. අඩුම තරමේ නියපොත්තක තරම්වත් නොදැනෙන අලුත්වැඩියාවක් කරගන්නට නගර සභාවට පින්සෙණ්ඩු වෙන්නට වී ඇත්තේය. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අඩුපාඩු පිළිසකර කරන්නට එහි යනෙන උදවිය නගර සභාවට වැන්දේ නැති ටික විතරය. එහි ඇති ව්‍යායාම උපකරණයක කඹ දෙකක් පහුගිය දිනෙක අතුරුදන් වී තිබුණේය. ඒ කඹය යළි දමන්නට නගර සභාවට මාස කිහිපයක් ගතවුණේය. විදෙස් රටකින් ආධාර ලෙස ලැබී තිබූ ඒ උපකරණ කට්ටලය දැන් මලකඩකමින් එක තැන පල්වන්නේ දාහතර වසරක සිටය. විහාරමහාදේවි උද්‍යානයට එන උදවියට ඈදිගන්නට ඇති බොහෝමයක් පුටුවල සැකිල්ල විතරය. පරණ පුටු අලුත්වැඩියා කෙරෙන දිනයක් ළඟපාත පෙනෙන්නට නැත.
මහ නගර සභාව කියූ හැටියට කොළඹ නගරය ජලයෙන් යටවීමට සැබෑ හේතුව මහ වැස්සක් නම් වැහි ඇද හැලෙන්නට මත්තෙන් ඊට සූදානම් නොවුණේ මන්ද? හැරත් එල්නිනෝ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ මාස ගණනාවක සිටය. එසේ නම් ධාරාණිපාත වරුසාවකට කොළඹ සූදානම් කිරීමේ වගකීමෙන් ගැලවී ඉන්නට නගර සභාවට නොහැකිය. හිටපු දිසාපති සුනිල් කන්නන්ගරද අපට කීවේ මෝසම් වරුසාවට වුවද මුහුණ දෙන්නට එකල පෙර සූදානමින් සිටි බවය. මෝසම් වැහි ඇද හැලෙන්නට මත්තෙන් සෑම මාර්තු මාසයකදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහ නගර සභාව ඇතුළු ආයතන එකතු වී රැස්වීමක් පවත්වා සාකච්ඡා කර ඇත්තේ ඒ පෙර සූදානම ගැනය. ඇළ මාර්ග, කානු පද්ධති සුද්ධ පවිත්‍ර කළයුතු තැන් ගැන එතැනදී සාකච්ඡා කර මහ වැහි ඇද හැලෙන්නට මත්තෙන් ඒවා පවිත්‍ර කර ඇත්තේය. එවායේ ප්‍රතිඵලය වී ඇත්තේ කොළඹ නගරය වැහි ජලයෙන් බේරා ගැනීමය.
අද කොළඹට වැහි ජලය හිසරදයක් වුණාට සියවස් ගණනාවකට ඉහතදී කොළඹට වැටෙන වැහි බිඳුව පවා ජනතාව ප්‍රයෝජනයට ගත්හ. ලන්දේසි යුගයේදී කොළඹ නිවෙස් පියසිවල රැස් වූ වතුර මහ පාරට වැටුණේ නැත. ඒවා ගලා ගියේ ළිංවලටය. එකල සෑම ලන්දේසි නිවෙසකම ළිඳක් තිබුණේය. ගෙදර උදවියගේ අවශ්‍යතා සපිරුණේ ඒ ළිංවල ජලයෙනි. මේ බව නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල්වරයකු වූ
ආර්.එල්.බ්‍රෝහියර් විසින් රචිත ‘කොළොම් පුර පුරාවෘත්තයේ’ සඳහන්ව ඇත්තේය. එකල එහෙම වුණාට අද වැහි ජලය කොළොම්තොට වැසියන්ට කරන්නේ සරදම් ය.
මෙදා සැරේ කොළඹ යටකළ වැහි වතුර මුහුදට බැස ගිය පසුවද කානු සුද්ද කරන්නට මහ නගර සභාවට සිද්ධ වුණේය. කානුවල සිරවී තිබූ අපද්‍රව්‍ය කිලෝ ගණනින් එළියට මතුවුණේය. මහ නගර සභාව වැඩ අල්ලා තිබුණේ අශ්වයා ඉස්තාලයෙන් පැන ගිය පසුවය. ඒ මන්දයත් කොළඹ වැහි ජලයෙන් යට කරන තැන් සොයාගත්තේ පසුව වීම නිසාය. එවැනි තැන් හැටක් හඳුනාගෙන තිබුණේය. මෙදා සැරේ තැන් හැටක් සොයාගත්තාට මීට වසර කිහිපයකට ඉහතදීද එවැනිම තැන් විසිහයක් සොයාගෙන තිබුණේය. ඉන් බරපතළ තැන් එකොළහකට දැන් සාර්ථකව විසඳුම් ලැබිලාය. මේ ගැන අපිට කීවේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ හිටපු ලේකම් ඉන්ජිනේරු නිහාල් රූපසිංහ ය.
"අපි ඒ කාලේ කොළඹ යටවෙන තැන් විසිහයක් හොයාගත්තා. එතැනින් බරපතළම තැන් එකොළහකට අපි විසඳුම් ගෙනාවා. ඉතිරි වුණේ කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වෙන කානු පද්ධති, අලුත්වැඩියා කිරීම් ඇතුළු පොඩි තැන් කිහිපයක් විතරයි. අපි ඒ දවස්වල කානු හැදුවෙ පැයකට වර්ෂාපතනය මිලිමීටර එකසිය විස්සකට ඔරොත්තු දෙන විදියටයි..." ඉන්ජිනේරු නිහාල් රූපසිංහ කියන්නේය.
කොළඹ නගරය ජලයෙන් යටවෙන ප්‍රධානතම තැන් දෙකකට විසඳුම් ගෙනෙන්නට එකල උත්සාහ දැරුවද මහ නගර සභාවෙන් ඊට අවසර ලැබී නැත. පිටකොටුව සොන්ඩර්ස් පෙදෙස එවන් තැනක්ය. මෙතැන ඇති පිට්ටනියට යටින් භූගතව ජලය එකතුකර පොම්ප කර පිටතට යැවීමේ ව්‍යාපෘතියක් අරඹන්නට සැලසුම් සකස්කර තිබී ඇත්තේය. එහෙත් ඊට නගර සභාවෙන් අවසර ලැබී නැත. අදටත් පිටකොටුව බස් නැවතුම්පොළ ජලයෙන් යටවීමට එය හේතුවක් බව ඉන්ජිනේරු නිහාල් රූපසිංහ කියන්නේය.
කොළඹ මහ රෝහල ජලයෙන් යටවීමටද මෙවැනිම හේතුවක් බලපා ඇති බව ඉන්ජිනේරු නිහාල් රූපසිංහ කියන්නේය. ඒ, නොරිස් කැනල් පාරේ පිළිසකර කිරීම්ය.
"නොරිස් කැනල් පාරේ ව්‍යාපෘතිය සැලකිය යුතු ප්‍රමාණයක් කළා. හැබැයි එක් කොටසක නගර සභාවෙන් ගෙවල් හදලා. ඒ ටිකේ වැඩ නැවතුණා. අපි අපේ ව්‍යාපෘති කළාට පස්සේ වෙන කිසිම දෙයක් වුණේ නැහැ. මම මේ ආණ්ඩුවට විතරක් දොස් කියන්නේ නැහැ. හැබැයි පස්සෙ ආව කිසිම කෙනෙක් කළේ නෑ. හැබැයි අපි ඉන්ජිනේරුවරු පුහුණු කළා. මෘදුකාංග ගෙනල්ල භාර දුන්නා. හැබැයි වැඩ කෙරුණේ නැහැ. අදටත් කරන්නේ නැහැ. උනන්දුවක් නැහැ. කානු පද්ධති ලොකු කරනවා වගේම ඒවා හරියට සුද්ද කරන්න ඕනේ. කොළඹ වර්ෂාපතනය අනුමාන කරන මධ්‍යස්ථානයක් පවා අපි හැදුවා. තට්ටු අටක බිල්ඩින් එකකුත් හැදුවා. දැන් එතැන කුලියට දීලා. හරි දුකයි ඒ ගැන. වැස්ස පෑව්වාම නිලධාරීන්ට මේවා අමතක වෙන්න බැහැ. ඉන්ජිනේරුවරු වෙන අපිට හොඳට ප්රශ්නය තේරෙනවා. නඩත්තු නොකිරීමෙන් තත්ත්වය තව තවත් දරුණු වෙනවා.." ඉන්ජිනේරු නිහාල් කියන්නේය.
හෙතෙම කී පරිද්දෙන් කොළඹ වැහි වතුරෙන් යටවුණු තැන් කිහිපයකටම සාර්ථක විසඳුම් ලැබී ඇත්තේය. කොළඹ හතේ තුම්මුල්ල හන්දිය අසල දීර්ඝ කාලයක පටන් දණක් ළඟට ජලයෙන් යටවූ තැනක්ය. වැහි දිනවල හන්දිය තනිකරම පොකුණක් බවට පත්ව තිබුණේය. එතැන එකතු ජල කඳ මුහුදට ගලා ගියේ වැල්ලවත්ත හරහා ය. හයිලෙවල් පාරේ යනෙන වාහන බොහෝමයක් තුම්මුල්ලේ පොකුණෙන් පීඩා වින්දේය. එමතු නොවේ විදුලි බල මණ්ඩලයේ කාර්යාලයද ජලයෙන් යට වුණේය. ඒත් ඒ ගැටලුව අද අතුරුදන්ය. ඊට හේතුව අපට කීවේ කලක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිවරියක ලෙස සේවය කළ භද්‍රානි ජයවර්ධනය.
“තුම්මුල්ලේ ප්රශ්නය විසඳුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් විදියට හිටපු කාලෙයි. එදා ඒ ප්රශ්නය විසඳන්න අමාරු තීරණයක් ගත්තා. තුම්මුල්ලේ ඉඳලා මුහුදට යනකල් උමගක් කැපුවා. තුම්මුල්ලේ එකතු වුණ ජලය උමග හරහා කෙළින්ම මුහුදට ගලාගෙන ගියා. දැන් මහ වැස්සක් වැස්සත් එතැන යටවෙන්නෙ නෑ...” එදා ගත් අසීරු තීරණයේ සාර්ථක ප්‍රතිඵල ගැන භද්‍රානි ජයවර්ධන කියන්නීය.
එකල කොළඹ ජලයෙන් යටවෙන තැන් ගැන තතු සොයාගෙන ඇත්තේ අපූරු තාක්ෂණයක් යොදාගෙනය. ඒ ඩ්‍රෝන යොදාගෙන පොළොවේ ගුරුත්වාකර්ෂණයේ ස්වභාවය හඳුනාගැනීමය. ජලයෙන් යටවෙන තැන්වලට පිළියම් යොදා ඇත්තේ එහෙමය. කැලණි ගඟේ ජලය ඉහළ යනවිට ඇළ මාර්ග ඔස්සේ ජලය කොළඹ නගරයට ගලා ඒමද කලකට ඉහතදී බරපතළ ගැටලුවක්ව තිබුණේය. එයට විසඳුමක් හැටියට නාගලගම්වීදිය ජල පොම්පාගාරය ඉදිකර ඇත්තේ ලෝක බැංකුව සමග කළ මහා ව්‍යාපෘතියක් ලෙසය. ගඟේ ජලය ඇළ මාර්ග ඔස්සේ ගලා ඒම වැළැක්වීම සේම ඇළ මාර්ගවල එකතුවන අතිරික්ත ජලය කැලණි ගඟ දක්වා ගලායන්නට මෙය සාර්ථක විසඳුමක් බවට පත්වුණේය. තත්ත්පරයට ඝන මීටර හය බැගින් වූ පොම්ප පහකින් තත්ත්පරයට ඝන මීටර දොළහක් බැගින් වූ පොම්ප දෙකක් ඇතුළු ස්වයංක්‍රීය දොරටු දෙකකින් යුතු පාලක පද්ධතියකින් මෙතැන ජල මට්ටම පාලනය වන්නේය. අදටත් ඒ ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රතිඵල ජනතාව භුක්ති විඳින්නෝය.
කොළොම්තොට නගරය වැහි ජලයට බිලිදීමේ චෝදනාව එල්ලවන්නේ නිලධාරින්ට පමණක් නොවේ. රට්ටුන්ටද සමගය. මන්ද යත් වැහිදිය පොදක් බැස යාමට නොහැකි පරිද්දෙන් කානු සිරකරන්නේ අපේම උදවිය නිසාය. කානු සුද්ද කිරීමේ වගකීම නිලධාරීන්ට පැවරුණද අතේ ඇති හිස් වතුර බෝතලය ටොපි කොළය කානුවට විසි නොකිරීමේ වගකීම ඇත්තේ රට්ටුන්ටය.


