Daraz සහ NEDA එක්ව, MSME සවිබලගැන්වීමට වැඩසටහනක්
08 July 2025
Daraz සහ NEDA එක්ව, MSME සවිබලගැන්වීමට වැඩසටහනක්
08 July 2025
Daraz ශ්‍රී ලංකා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා නව ධාරිතා වර්ධන වැඩසටහනක් දියත් කර ඇත. මෙම අභිලාෂකාමී මුලපිරීම, මේ වසර මුලදී ව්‍යවසායකයින්ට ඩිජිටල් ආර්ථිකයට සාර්ථකව පිවිසීමට සහාය වීම සඳහා හඳුන්වා දුන් Daraz Connect වැඩසටහනේ ඉදිරි පියවරක් සනිටුහන් කරයි.
Daraz Connect වැඩසටහන මුලදී ග්‍රාමීය හා අවම සේවා සැපයුම් ප්‍රදේශවල ව්‍යවසායකයින්ට ඔන්ලයින් වෙළඳසැල් පිහිටුවීමට සහ ඊ-වාණිජ්‍යයේ අවස්ථා ග්‍රහණය කර ගැනීමට සවිබලගැන්වීම කෙරෙහි අවධානය යොමු කළද, නව ධාරිතා වර්ධන වැඩසටහන මෙම ව්‍යවසායකයින් සමඟ සෘජුවම කටයුතු කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. NEDA නිලධාරීන්ට ඊ-වාණිජ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග, අභියෝග සහ අවස්ථා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීමෙන්, ශ්‍රී ලංකාව පුරා MSME සවිබලගැන්වීම සඳහා ශක්තිමත් සහ තිරසාර පදනමක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙමගින්, දේශීය ව්‍යාපාරික පරිසර පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දෙපාර්ශවයම එක්ව කටයුතු කරයි.
මෙම වැඩසටහනේ පළමු සැසිය මාතරදී සාර්ථකව පැවැත්වුණු අතර, විවිධ දිස්ත්‍රික්කවලින් NEDA නිලධාරීන් එක්රැස් කරමින් පුළුල් එක් දින පුහුණුවක් ලබා දෙන ලදී. Daraz විශේෂඥයින් විසින් මෙහෙයවන ලද මෙම පුහුණුව, නව විකුණුම්කරුවන් ඊ-වාණිජ්‍ය වේදිකාවලට සාර්ථකව එක්කිරීම, ඩිජිටල් වෙළඳසැල් ප්‍රශස්තකරණය, පාරිභෝගික තීක්ෂ්ණ බුද්ධිය ඵලදායී ලෙස භාවිතා කිරීම, භාණ්ඩ ප්‍රවාහනය හා ලොජිස්ටික්ස් කළමනාකරණය, සහ ඩිජිටල් ගෙවීම් පද්ධති කාර්යක්ෂමව හැසිරවීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කළේය. මෙම වැඩසටහන මගින් නිලධාරීන්ට Daraz විකුණුම් පද්ධතිය හරහා ලබා ගත හැකි විවිධ මෙවලම් සහ සේවාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. මෙම වේදිකා යාන්ත්‍රණය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීමෙන්, ඔවුන් සහාය දක්වන ව්‍යවසායකයින්ට ප්‍රායෝගික හා අදාළ මගපෙන්වීමක් ලබාදීමට නිලධාරීන් වඩාත් හොඳින් ස්ථානගත වන බව පුහුණුව සහතික කරන අතර මෙය Daraz සහ NEDA අතර පවතින සහයෝගීතාවයේ සැබෑ වටිනාකම විදහා දක්වයි.
මෙම උපායමාර්ගික ආරම්භයේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ තනි වැඩමුළුවලට ඔබ්බෙන් ගොස් දිගුකාලීන ආයතනික ධාරිතාව ගොඩනැගීමයි. පුහුණුවට සහභාගී වන නිලධාරීන්ට, ඔවුන්ගේ උපදේශන, පුහුණු සැසි, හෝ ප්‍රජා ප්‍රවේශ වැඩසටහන් තුළදී, ලබාගත් දැණුම ඔවුන්ගේ සේවා සැපයුම් වලදී ඵලදායී ලෙස යෙදවීමට හැකිවනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, NEDA නියෝජිතයින් විසින් ඔවුන්ගේ ප්‍රදේශවල MSMEs වෙත තොරතුරු සහිත සහාය ලබාදීමත් සමඟ, වැඩසටහනේ බලපෑම කාලයත් සමඟ ක්‍රමිකව හා තිරසාරව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දෙපාර්ශවයේම දිගුකාලීන දැක්ම සහ නවෝත්පාදනය සඳහා ඇති කැපවීම පිළිබිඹු කරයි.
දිගුකාලීන දැනුම සංවර්ධනය සහතික කිරීම සඳහා, Daraz සහ NEDA මෙම ආරම්භය මාසික වැඩමුළු සහ වෙබ් සම්මන්ත්‍රණ (webinars) මාලාවක් හරහා අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. මෙම අඛණ්ඩ සැසි මගින්, නිලධාරීන්ට ඩිජිටල් ආර්ථිකයේ නැගී එන ප්‍රවණතා පිළිබඳ නවීකරණ, ප්‍රායෝගික යාවත්කාලීන කිරීම්, සහ MSMEs හි විකාශනය වන අවශ්‍යතා සමඟ සිය දැනුම අලුත් කරගැනීමට හැකිවේ. මෙම අඛණ්ඩ සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ MSME අංශයේ අනාගත වර්ධනය හා සමෘද්ධිය සඳහා ශක්තිමත් පදනමක් සපයනු ඇත.
Daraz සහ NEDA අතර මෙම හවුල්කාරිත්වය, තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ ඇතුළත් ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීමට ඇති කැපවීමක් පිළිබිඹු කරයි. ව්‍යවසායකයින්ට පමණක් නොව, ඔවුන්ට සහාය දක්වන ආයතනවලටද අවධානය යොමු කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ ධාරිතා ගොඩනැගීම සඳහා මෙම වැඩසටහන පරිපූර්ණ ප්‍රවේශයක් ගනී. එය MSME අංශයේ දිගුකාලීන, තිරසාර වර්ධනය සඳහා අන්තර්-අංශ හවුල්කාරිත්වයේ වැදගත්කමද අවධාරණය කරයි. මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය තුළින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල්-සක්‍රීය ආර්ථිකයට සියළුදෙනා ඇතුළත් කරගන්නා, ඔරොත්තු දෙන සුළු, සහ ශක්තිමත් ආයතනික දැනුම මත පදනම් වූවක් වන බව තහවුරු කිරීමට දෙපාර්ශවයම අරමුණු කරයි.