(කතාවෙන්) රටක් ගොඩදාන්නේ කෙසේද?
21 November 2026 | සුන්දර නිහතමානි ද මැල්
(කතාවෙන්) රටක් ගොඩදාන්නේ කෙසේද?
21 November 2026 | සුන්දර නිහතමානි ද මැල්
අයවැය කතාවේ අවසානය අසමින් සිටි බිරිඳත්, මාත් ගෙයින් එළියට ආවේ අපේ අසල්වැසියා කතා කරනු ඇසීමෙනි.
"මචං, මම දවල් ගෙදරින් පිටත්වෙන කොටත් අයවැය කියවනවා. මම මොරටුවෙ ඉඳන් බස්සෙකේ ගාලු ගිහිල්ල එනකොටත් අයවැය කියවනව කියපන්කො"
"1947 න් පස්සෙ පවත්වපු දිගම අයවැය කතාව. පැයම පහයි" මගේ බිරිඳ ප්රීතියෙන් බබළන මුහුණින් යුතුව කියා සිටියාය. "ගිය අවුරුද්දෙ පැය හතරයි, විනාඩි විස්සක එතුමාගෙම වාර්තාව තමයි මේ කැඩුවෙ"
එහෙත් අසල්වැසියා නම් කතා කරේ එතරම් සතුටකින් නොවේ.
"දැන් මහවැලිය හදන්න වියදම් කරේ පැයේ, දෙකේ අයවැය කතාවලින්නෙ. තිස් අවුරුදු යුද්දෙ නවත්තන්න සල්ලි දුන්නෙත් රෙකෝඩ් බ්රේකිං බජට්වලින් නෙවෙයිනෙ" ඔහු අපට කියා සිටියේය. "මචං, මගුල් ගෙදරකදි දිග සුබ පැතුම් කතාවක් පැවැත්තුවා කියල විවාහෙ සාර්ථක වෙන්නෙ නෑනෙ බං"
මගේ බිරිඳ වහාම ඊට සිය විරෝධය පළ කළාය.
"දැන් පරණ කට්ටිය පැයේ, දෙකේ අයවැය කතාවලින්නෙ බඩු මිල අඩුකරල, පඩි වැඩිකරල රටේ ජීවන තත්ත්වය යහපත් කරන්න හැදුවෙ" ඇය අසල්වැසියාට පෙන්වා දුන්නාය. "එතකොට පැය පහක කතාවක් කරාම ඒ වගේ කී ගුණයකින් මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය හොඳ කරන්න පුළුවන්ද?"
මමද ක්ෂණිකව බිරිඳට සහයෝගය පළ කළෙමි.
"හරියට හරි, දිග වැදගත්. මේ අයවැය කතාවෙ දිගේ හැටියට ඒක ඉවරවෙනකොටම උද්ධමනය පහත ගිහින් ජීවන වියදම අඩුවෙන්න අරගෙන ඇති" මම අසල්වැසියාට පෙන්වා දුනිමි. "කොටින්ම අපේ මාසෙ ආදායමෙන් ජීවත්වෙලා ගානක් ඉතිරි කිරීමේ ගිණුමක දාන්නත් පුළුවන් තත්ත්වයක් ළඟදිම ඇති වෙයි"
අසල්වැසියා අපේ කතාවලට සිනාසුණේය.
"පැය පහක කතාවක් කරාට දවස් පහකවත් වැඩක් කෙරෙයිද කියලනෙ බං සැක" ඔහු කියා සිටියේය. "ඔච්චර දිග කතාවල් කරාට ගෙවල්වල වේළෙන අපේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් හම්බුවෙයිද?"
"පැයේ, දෙකේ කතාවලින් සල්ලි වෙන්කරලනෙ මෙච්චර කල් රස්සා දුන්නෙ. එතකොට පැය පහක කතාවකින් ඒ වගේ කී ගුණේකට රස්සාවල් දෙන්න පුළුවන්ද කියල ගණන් බලපන් "මම අසල්වැසියාට පෙන්වා දුනිමි. "කතාව දිග නිසා ඕන නම් අයවැය අහන්න විතරක් රස්සා ලක්ෂ ගානක් දෙන්නත් පුළුවන්නෙ"
අසල්වැසියා මගේ කතාවෙන් විපිළිසර විය.
"ඒ කියන්නෙ ඊළඟ අයවැය කතාවලුත් මේ වගේ දික්වෙයිද?"
"නැතුව, නැතුව" මම කියා සිටියෙමි "දීර්ඝ කතාවලින් රට දියුණු කරාම ඒකෙ කීර්තිය දසදෙස පැතිර ගිහින් ජනාධිපතිතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානෙ දේශනේකට වුණත් ආරාධනා කරන්න බැරි නෑ"
"ඒ මොනවා ගැන කතාකරන්නද?"
"අනිත් නොදියුණු රටවල නායකයින්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදිහෙ කතාවක් කරන්න" මම කියා සිටියෙමි "කතාවලින් රටක් දියුණු කරන්නේ කෙසේද කියල"
අසල්වැසියා දිග සුසුමක් හෙළුවේය.
"මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්" ඔහු අප දෙදෙනාට කියා සිටියේය" වැඩි කාලයක් යන්න කලින් ජනාධිපතිතුමාටම මේ වාර්තාව කඩන කතාවක් පවත්වන්න වෙනවා"
"ඒ මොකටද?"
"පැය පහ හය දිග අයවැය කතාවලින් කියපු දේවල් කරන්න බැරිවුණේ මොකද කියල කියන්න පැය දහයක්වත් යයි නේද?"


