brand logo
logo
ඉන්ධන සහන හා අස්වැසුම සඳහා රු. බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්

ඉන්ධන සහන හා අස්වැසුම සඳහා රු. බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්

04 November 2026

ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට අතිරේක සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත්, රුපියල් බිලියන 6ක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයුම් වැඩසටහන යටතේ අස්වැසුම සඳහාත් වෙන්කරන බවයි.


මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලට ඇතිවූ බලපෑමෙන් දේශීය වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා රුපියල් බිලියන 41ක මුදල ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන වෙනුවෙන් ලබාදෙන බවද ඔහු පැවසීය.


අස්වැසුම වැඩසටහන යටතේ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 6,250කත්, දුප්පත් කාණ්ඩයට රුපියල් 4,000කත් අතිරේක දීමනාවක් ලබාදීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අන්ත දුප්පත් කාණ්ඩයට හිමි දීමනාව වාරික දෙකකින් ගෙවන අතර, එය එක්වරක් පමණක් ලබාදෙන දීමනාවකි.


මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අතිරේක වියදමක් නොදරන බවත්, දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වෙනත් ක්ෂේත්‍රවලින් කළමනාකරණය කරමින් අවශ්‍ය මුදල් සපයාගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

 

More News..