මේ දවස්වල මං බල්ලො නාවනවා
02 November 2025 | නිරෝෂා වාසල
මේ දවස්වල මං බල්ලො නාවනවා
02 November 2025 | නිරෝෂා වාසල
අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයෙකි. හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකි. රැකියාවෙන් වරලත් ගණකාධිකාරවරයෙකි. රාජකාරි දිවියෙන් බොහෝ කලක් කාසි නෝට්ටුවලින් බැඳී තිබුණද ඔහුගේ පෞද්ගලික දිවිය හරිම අපූරුය. මේ ඒ ගැන ඔහු ‘සතිඅග අරුණ’ට කී කතාවයි.
මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඉන්නවා වගෙයි පේන්නේ?
මේ දවස්වල විතරක් නෙමෙයි වගකීම් තියෙන දවස්වලත් මම ජීවිතය ගත කළේ බොහොම සතුටින්. විනෝදයෙන්. දැන් ඊට වඩා ටිකක් විවේකය වැඩියි. ඒ නිසා ඒ දවස්වල කරගන්න බැරිවුණු දේවල් ටික දැන් කරනවා.
මොනවද ඒ?
බල්ලව නාවන්න, එයාව හුරතල් කරන්න දැන් වැඩි කාලයක් යොදවනවා. ඊට අමතරව චිත්‍රපට, ටෙලිනාට්‍ය, නාට්‍ය බලනවා. නෙට්ෆ්ලික්ස් එකෙනුත් චිත්‍රපට බලනවා. සින්දු අහනවා.
මොකක්ද මෑතකදීම බැලුව චිත්‍රපටය?
නෙට්ෆ්ලික්ස් එකෙන් නම් සෑහෙන්න චිත්‍රපට බලලා තියෙනවා. ඊට අමතරව මේ ළඟකදි "ගරු කථානායකතුමනි" කියන වේදිකා නාට්‍යයත් බැලුවා. ඒකෙන් ගොඩක් විනෝද වුණා. rhythm of the guitar සිංහල චිත්‍රපටයත් බැලුවා. ඊට අමතරව "පිරිමි ළමයි" ටෙලිනාට්‍යයත් බලනවා.
ඔය අතර ඉතින් රටතොට විස්තරත් බලනවා ඇතිනේ?
රට තොට විස්තරත් නොබලනවාම නෙමෙයි. ඒත් ඒවා දැක්කාම ලොකු කනගාටුවක් දැනෙනවා. ඒ නිසා ඒ දේවල් බලන එක ටිකක් අඩු කරලා තියෙන්නේ. ඒවා දැකලා හිත කනගාටු කර ගන්නවාට වඩා නාට්‍යයක් බලලා, සින්දුවක් අහලා හිත සතුටු කරගන්න එක හොඳයි කියලා හිතෙනවා.
එහෙනම් රටේ තොටේ විස්තර පැත්තකින් තියලා වෙනසකටත් එක්ක ඔබේ අතීත වතගොත ටිකක් මතක් කරමු?
ඒක හොඳ යෝජනාවක්. ඒ දේවල් මතක් වෙනකොටත් හිතට සතුටුයි.
පවුලේ විස්තර කියලම කතාව පටන් ගමු?
මම ඉපදුණේ තංගල්ලේ. මගේ තාත්තා ලෙස්ලි කබ්රාල්. ඔහු වෛද්‍යවරයෙක්. අම්මා ට්‍රික්සි කබ්රාල්. ඇය හෙද නිලධාරිනියක්. මට අයියලා දෙන්නයි. අක්කලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඊට අමතරව බල්ලෝ පස් දෙනෙකුත් අපේ ගෙදර හිටියා. ඔවුනුත් ඉතින් අපේ පවුලේම සාමාජිකයන් විදිහටයි අපිට දැනුණේ.
අජිත් නිවාඩ් කබ්රාල් කියන නම ටිකක් අමුතුයි කියලා කවුරුත් කියලා නැද්ද? ඒ නමට පෘතුගීසි ආභාසයකුත් තියෙනවා වගේ නේ?
හොඳ ප්‍රශ්නයක්. නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් තමයි මගේ සම්පූර්ණ නම. ඒක ඉතින් මගේ තාත්තයි අම්මයි මට දුන්න නමනේ. මම ඒ නමට කැමැතියි. මට නම ලැබිලා තියෙන විදිහත් අපූරුයි. මම ඉපදුණේ තංගල්‍ලේ අපේ ගෙදරමයි. ගෙදර ළඟමයි රෝහලත් තියෙන්නේ. ඒ දවස්වල අයර්ලන්තයෙන් ආව කන්‍යා සොහොයුරියන් ඒ රෝහලේ වැඩ කරලා තියෙනවා. දවසක් ප්‍රධාන කන්‍යා සොහොයුරිය මාව බලන්න ඇවිත්. මේ ළමයට නම දාද්දි නිවාඩ් කියන නමත් දාන්න කියලා ඇය අපේ තාත්තට කියලා. නිවාඩ් කියන්නේ ප්‍රංශයේ හිටිය සාන්තුවරයෙක්ගේ නමක්ලු. අර කන්‍යා සොහොයුරියගේ ඉල්ලීමට තාත්තා මට නිවාඩ් කියන නම දාලා. ඒක ප්‍රංශ නමක්.
අජිත් කියන නම ඉන්දියානු ශ්‍රී ලංකා මිශ්‍ර නමක්. ලෙස්ලි කියලත් මගේ නමේ කොටසක් තියෙනවා. ඒක ලන්දේසි නමක්. කබ්රාල් කියන්නේ පෘතුගීසි නමක්. නමට රටවල් හතරක වචන පාවිච්චි කරලා තිබුණාට අපේ පරම්පරාවම සිංහල. ඒ වුණාට කොහේ හරි විදේශ සම්බන්ධයකුත් ඇති. ඒ ගැන මම කියන්න දන්නේ නෑ. කොහොම වුණත් කබ්රාල් කියන නම පෘතුගාලයේ හරි ප්‍රසිද්ධයි.
ඔබේ පාසල් කාලය ගැනත් දැනගන්න කැමැතියි?
තාත්තගේ රැකියාවත් එක්ක අපිට යම් යම් ප්‍රදේශවලට යන්න වුණා. අපි කොළඹට ආවෙත් ඒ නිසයි. මගේ පාසල් කාලය හරි සුන්දරයි. ටික කාලයක් මම සාන්ත සෙබෙස්තියන් විදුහලේ ඉගෙන ගත්තා. ඉන් පසුවයි සාන්ත පීතර විද්‍යාලයට ගියේ. මම හොඳින් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියටයි ගුරුවරුන් වුණත් පිළිගත්තේ. පාසල් කාලය කියන්නේ මට හරිම ප්‍රීතිදායක කාලයක්. පවුලේ බාලයා වගේම මම පන්තියෙත් බාලයා.
කවුද ඔබේ පාසල් මිතුරන්?
මට පාසල් කාලයේ ගොඩක් යාළුවෝ හිටියා. අදටත් ඒ යාළුවන්ව බොහොම ළඟින් ආශ්‍රය කරනවා. රෝයි ඩයස් , අශන්ත අන්රාධි, ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා, ප්‍රියන්ත ප්‍රනාන්දු ඒ අතරින් කිහිප දෙනෙක්.
කබ්රාල් සහ සුනිල් පෙරේරා අතර පොඩි ආරෝවකුත් තිබුණලු නේද?
ඒක ඉතින් විහිළුවට වගේ කියන කතාවක්. ඇත්තටම අපි දෙන්නා හොඳම යාළුවෝ. අපේ පාසලේ ගායන තරග තියෙන අවස්ථාවල මට තමයි නිතරම පළමුවෙනි ස්ථානය ලැබෙන්නේ. හැමදාම සුනිල් මට පරාද වෙනවා. "දැන් මහ බැංකු අධිපති වෙලා හිටියට මෙයා ඉස්සර සිංදු කියලා මාව පරද්දවනවා" කියලා පහු කාලයක සුනිල් ප්‍රසිද්ධියේම කිව්වා. ඒක තමයි කතාව. ඒත් අපි අතර කිසිම අමනාපයක්, තරහක් නැහැ.
සුනිල් පෙරේරාවත් පරාජය කළ ඔබ තුළ හිටිය ඒ ගායකයාට මොකද වුණේ?
පාසල් යන කාලේ අපිට සංගීත කණ්ඩායමකුත් තිබුණා. තැන් තැන්වලට ගිහින් සින්දු කියල සල්ලිත් හම්බ කළා. මම වැඩිපුරම සිංදු කිව්වේ මගේ අයියත් එක්ක. ඔහුගේ නම ජෙරාඩ්. හොඳට පියානෝ වාදනය කරන්න පුළුවන්. ඒත් මගේ අයියා ඔස්ට්‍රේලියාවට ගියා. ඊට පස්සේ මා තුළ සිටි ගායන ශිල්පියාත් නිහඬ වුණා. අයියා ලංකාවේ හිටියනම් සමහර විට මම මහ බැංකු අධිපති වෙන එකක් නෑ. ගායකයෙක් වෙලා සින්දුවක් දෙකක් කියලා මීටත් වඩා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් ප්‍රිය සම්භාෂණයකට වගේ ගියොත් දැනටත් සිංදුවක් දෙකක් කියනවා.
* පොඩි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද?
පාප් වහන්සේ වෙන්න (හිනාවෙමින්). එහෙම කියන්න හිතුණේ ඇයි කියලා මට අදටවත් තේරෙන්නේ නෑ. කාලයක් යද්දි ගෑනු ළමයි එහෙම ආශ්‍රය කරන්න පටන් ගත්තට පසුව පාප් වහන්සේගේ හීනය නැතුව ගියා. ඊට පස්සේ උසස් පෙළ කළා. උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාලයට යන්න ඉහළින්ම සමත් වුණත් ‘charted institute’ එකේ විභාගය කරන්න කියලා තාත්තා කිව්වා. මම ඒ පාඨමාලාව කළා. හැම විභාගයකින්ම වගේ පළමුවෙනි තැනටත් ආවා. ඊට පස්සේ තමයි ගණකාධිකාරී ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. එතකොට මට අවුරුදු විසි දෙකයි. ළාබාලම වරලත් ගණකාධිකාරවරයා විදිහටයි මාව බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ.
එතකොට දේශපාලනයට ආවේ?
මගේ දේශපාලන ආගමනය අහම්බයක්. හැබැයි චාර්ටඩ් කරන කාලේ අමතක නොවන අමුතු දෙයක් වුණා. අපි විගණන කටයුතු කරන්න ගිය එක්තරා සමාගමක එඩ්වින් කියලා ටිකක් වයසක ගණන් එකතු කිරීමේ නිලධාරියෙක් හිටියා. ඔහුට අත් බලලා සාත්තර කියන්න පුළුවන්. හැමෝගෙම අත බලලා මොනවා හරි කියනවා මම දකිනවා. කෙල්ලන්ගේ අත අල්ලන්න තියෙන වුවමනාවට තමයි එඩ්වින් සාත්තර කියන්නේ කියලයි ඒ දවස්වල මට හිතුණේ. ඒත් "ඔයාගේ අත හරි අමුතුයි, ඔයාගේ අත්සන කවදා හරි මුළු ලංකාවම දකිනවා " කියලා දවසක් එඩ්වින් මගේ අත බලලා මට කිව්වා.
ඔබ ගණකාධිකාරී ශිෂ්‍යයෙක් කාලයේ නේද මුලින්ම මහින්ද රාජපක්ෂව මුණගැහුණේ?
ඔව්. එතකොට මහින්ද නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අපි හොඳම මිතුරන් වුණා. සමීපව ආශ්‍රය කළා. ඊට පස්සේ මහින්ද ඇමැතිවරයෙකුත් වුණා. ඒත් අපේ යාළුකමට බාධාවක් වුණේ නෑ. සමහර දවස්වල මම මහින්දව බලන්න කාල්ටන් එකටත් යනවා.
හිතවතා මහින්ද රාජපක්ෂ වුණාට මුලින්ම ඔබ දේශපාලනය කළේ රනිල් එක්ක?
කොච්චර යාළුවෝ වුණත් ඒ දවස්වල මහින්ද මට දේශපාලනය කරන්න කතා කළේ නෑ. මම charted institute එකේ සභාපති වෙලා හිටිය කාලේ සමහර උත්සවවලට රනිල් වික්‍රමසිංහටත් ආරාධනා කරලා තියෙනවා. මගේ බිරිඳ රෝෂිණී කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහත්මයාගේ අයියගේ දුව. ඒ නිසා බිරිඳගේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහට නෑකමකුත් තියෙනවා. සෑම් විජේසිංහ විවාහ වුණේ රනිල්ගේ නැන්දා එක්ක. මට පළාත් සභාවට එන්න කියලා රනිල් ආරාධනා කළා. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ හිටිය සභාපති පණ්ඩිතරත්න තමයි මම රැකියාව කළ සමාගමේ මගේ ප්‍රධානියා වුණෙත්. මගේ අධ්‍යාපන වැඩකටයුතු අවසන් වූ වහාම පණ්ඩිතරත්න මාව ලලිත් ඇතුළත්මුදලි ළඟට යැව්වා. ඇතුළත්මුදලි මාව සළුසල මණ්ඩලයට පත් කළා. එතකොට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. රනිල් වික්‍රමසිංහ මාත් එක්ක තවත් හිතවත් වුණා. අවසානයේ පළාත් සභාවටත් ඉල්ලලා මම ජයග්‍රහණය කළා.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කළත් මහින්දත් එක්ක තිබුණු හිතවත්කම් නැති වුණේ නැද්ද?
නෑ. ඒ යාළු හිත මිත්‍රාදිකම් කවදාවත් අඩු වුණේ නෑ. පළාත් සභාවේ ඉන්න කාලෙත් මම මහින්දව බලන්න ගියා. දවසක් මම මහින්ද බලන්න යද්දී බොහෝ දෙනෙක් පිරිවරාගෙන ඔහු බොහොම ගාම්භීරව ඉඳගෙන හිටියා. මට අද වගේ ඒක මතකයි. ඔයා දැන් විපක්ෂය දාලා අපිත් එක්ක එන්න කියලා ඔහු හිනා වෙලා කිව්වා. එතකොට ඔහු එවකට පැවැති රජයේ කම්කරු අමාත්‍යවරයා. ඒත් මම එදා ඔහුගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මොකද චන්ද්‍රිකාගේ දැක්ම මට ගැළපුණේ නැහැ. හැබැයි කවදා හරි මහින්ද ජනාධිපති වුණොත් මම එනවා කියලා මම ඔහුට පොරොන්දු වුණා. 2004 මම ලක්මවට මුතු පොටක් නමින් පොතක් ලිව්වා. ඒ දවස්වල මහින්ද රටේ අගමැති. රනිල් අපේ පක්ෂයේ නායකයා. මම පොත එළිදක්වන උත්සවයට මහින්දට ආරාධනා කළාට රනිල්ට ආරාධනා කළේ නෑ. ඊට පස්සේ මම ටික කාලයක් දේශපාලනය අතහැරලාදාලත් හිටියානේ. ඉන් පසුවයි මහින්ද මට දේශපාලනයට ආරාධනා කළේ. 2005 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයත් සමග මගේ ගමනත් අලුත් වුණා.
මහින්ද රාජපක්ෂ 2005 මැතිවරණයෙන් පරාද වෙනවා කියලත් කතාවක් පැතිරුණාලු නේද?
"සර් අපි පරාදයි" කියලා එක අමාත්‍යවරියක් මහින්ද රාජපක්ෂගේ ගෙදරටම ගිහින් නිදාගෙන හිටපු මහින්දව ඇහැරවලාම කියලා තිබුණා. ඒකට මහින්ද සෑහෙන්න අවුල් වෙලා හිටියේ. ඒත් මම ගණන් හදලා බලද්දි එහෙම පැරදෙන පාටක් පේන්න තිබ්බේ නෑ. අපි කොහොමත් දිනනවා කියලා මම මහින්ද රාජපක්ෂට කිව්වා. මම ඉතින් ගණංකාරයානේ. ඡන්ද පනස්දාහක් වගේ ප්‍රමාණයකුයි මම ගණන් බලලා තිබුණේ. ඒ වෙලාවේ මට එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රමත් දුරකථනයෙන් කතාකරලා මහින්දගේ ජයග්‍රහණය තහවුරු කළා. අපි ගණන් හැදුව විදිහටම ඔහු ජයග්‍රහණය කළා. ඊට පස්සේ මට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්කම ලැබුණා.
අවසානෙට එඩ්වින්ගේ සාත්තරේ හරියටම හරි ගියා නේ ?
හරි ගියා නේන්නම්. 2006 ජුනි මාසයේ මහ බැංකු අධිපතිවරයා විදිහට පත්වුණාට පස්සේ මට අත්සන් කරන්න හිස් කඩදාසියක් ලැබුණා. ඒ හිස් කඩදාසියේ තියෙන මගේ අත්සන තමයි මුදල් නෝට්ටුවට යන්නේ කියලා එතැන හිටිය නිලධාරීන් මට කිව්වා. ඒ මොහොතෙදි මට එඩ්වින් කිව්ව සාත්තරේ මතක් වුණා.
ඔබ මහ බැංකු අධිපතිවරයාව ඉන්න කාලයේ එක පැත්තකින් රටේ ත්‍රස්තවාදය. අනෙක් පැත්තෙන් ආර්ථික යුද්ධය. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ ඔබත් ඒ දවස්වල සැහැල්ලුවෙන් ක්‍රිකට් මැච් බැලුවලු නේද?
හැමදාමත් පිටියටම ගිහින් මැච් බලන්න බැරි වුණා. ඒත් අනිවාර්යෙන්ම ටෙලිවිෂන් එකෙන් හරි මැච් එක බැලුවා. අදටත් ඒ පුරුද්ද තියෙනවා. මගේ මතයේ හැටියට අපි එක දෙයකම එල්ලිලා හිටියොත් කවදාවත් ඒ කරන දේවත් සාර්ථක වෙන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට වැඩ කරන්නත් අවශ්‍ය වෙලාවට විවේක අරගෙන විනෝද වෙන්නත් පුළුවන් ශක්තිය මට දෙවියො දීලා තියෙනවා. මගේ රාජකාරිය ඉවර වුණු ඊළඟ මොහොතෙදි මට සිංදු කියන්නත් පුළුවන්. හිත සැනසිල්ලේ නිදාගන්නත් පුළුවන්. දෙයියනේ කියලා කොට්ටෙට ඔළුව තියපු ගමන් මට අදටත් හොඳට නින්ද යනවා. ඒකට නං ඉතින් මගේ නෝනා ටිකක් බනිනවා.
හැමදේම කතා කරලා බිරිඳ ගැන නොකිව්වොත් අඩුවක් වෙයි?
මගේ බිරිඳ රෝෂිණී සුනේත්‍රා කබ්රාල්. ගැටමාන්නේ පදිංචිකාරියක්. ඇයත් ගණකාධිකාරීවරියක්. 81දී අපේ ආදරය විවාහයකට පෙරළුණා. පුතුන් දෙදෙනෙක්ගේ දෙමව්පියන් වුණා. එක පුතෙක් ගණකාධිකාරීවරයෙක්. අනෙත් පුතා ඉංජිනේරුවරයෙක්. දරුවන් සහ පවුල ලොකු සම්පතක් හැටියටයි මමදකින්නේ.
පවුලට අමතරව ඔබට තවත් ආදරයක් තියෙනවානේ ?
ඔය කියන්නේ මගේ බල්ලා ගැනනේ. එයත් මගේ පවුලේ කෙනෙක්මයි. "රිකෝ මිනියන් කබ්රාල්" තමයි එයාගේ නම. කොහේ හරි යද්දිත් මම එයාව එක්කන් යනවා. දැන් එයාට අවුරුදු දොළහයි. ටිකක් වයසයි. ඒ වුණත් මම එයාට හරි ආදරෙයි. සත්තුන්ට ආදරය කරන එක තාත්තගෙන් මට ලැබුණු පුරුද්දක්. මිනිස්සු වෙනස් වුණත් සතුන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
මම හරි නම් දැන් ඔබට වයස අවුරුදු හැත්තෑවක්. ආපහු හැරිලා බලද්දි ඒ කාලය ගැන මොකද හිතෙන්නේ?
මම ඒ කාලය ගැන හරිම තෘප්තිමත්. නැවැත ඒ කාලය ලැබුණොත් මම ඒ විදිහටම ජීවත් වෙනවා. කවුරු හරි දෙයක් ඇහුවොත් ඒ අහන දේට දැනගෙන උත්තර දෙන්න කියන එකයි මේ අවුරුදු හැත්තෑවට මම ඉගෙන ගත්ත හොඳම පාඩම. ඒක මට කියලා දුන්නේ ලලිත් ඇතුලත්මුදලි. ජීවිතේ හැමදේම වෙන්නේ යහපතට කියලයි මට හිතෙන්නේ. එක එක්කෙනා දැම්ම නඩු හබ වෙනුවෙන් ලොකු වියදමක් යනවා නේද කියලා පහුගිය දවසක කෙනෙක් ඇහුවා. ලෙඩ වෙලා බෙහෙත් ගන්න වියදම් කරනවාට වඩා නඩු හබවලට වියදම් කරන එකට කැමැතියි කියලා මම උත්තර දුන්නා. කවදාවත් නොලැබුණු අත්දැකීමක් මට උසාවියෙනුත් ලැබුණා. උසාවියත් විශ්වවිද්‍යාලයක්. මං මහ බැංකු අධිපතිවරයාව ඉන්න කාලේ ඇඳුම් ගොඩක් මහ ගත්තනේ. දැන් මට ඒවා අඳින්න තැනක් නෑ. ඒ හින්දා උසාවියට අඳිනවා.
රටවල් කීයකට විතර ගිහින් තියෙනවද?
නොගිය රටක් නැති තරම්. දැන් මගේ විදේශ ගමන් තහනම් කරලනේ තියෙන්නේ. මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මට අමුතුවෙන් යන්න කියලා රටක් නැහැ. රාජකාරි කරද්දි මට ලංකාවේ ගොඩක් සුන්දර තැන් මග හැරුණා. දැන් ඉතින් ලංකාවේ ඒ මගහැරුණු තැන් බලන්න යනවා. විනෝද වෙලා සතුටින් ඉන්නවා.
එහෙනම් අපි මේ රසවත් කතාබහ පැණි රස කෑම කතාවකින්ම අවසන් කරමු? තවම කෑමට පසුව අතුරුපසක් කන්නේ නැද්ද?
බොහොම අඩුයි. සමහර තැන්වලදි නම් ඉතින් කන්න වෙන අවස්ථා එනවා. කොහොම වුණත් අපි කන ප්‍රධාන කෑම වේලෙම හරි රසවත් දේවල් තියෙනවා. ඒ රසවත් දෙයක් ඉතුරු කරගෙන. කෑම ටික කාලා අන්තිමට ඉතුරු කරගත්තු දේ කනවා. ඒක තමයි මම අතුරුපස විදිහට සලකන්නේ

