වයඹ පළාතේ විදුහල්පති ස්ථාන මාරු ලබන මස 3 වැනිදා සිට
21 May 2024 | නිලන්ත මදුරාවල
වයඹ පළාතේ විදුහල්පති ස්ථාන මාරු ලබන මස 3 වැනිදා සිට
21 May 2024 | නිලන්ත මදුරාවල
වයඹ පළාත් පාසල් එකසිය දහතුනක අත්හිටුවන ලද විදුහල්පති සේවයේ ස්ථාන මාරු ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව එම පළාත් ආරංචි මාර්ග කීවේය.
එම පළාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වීමට පෙර දින එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම යළි අනුමත කර ඇත. හිටපු ආණ්ඩුකාරවරයා එම ස්ථාන මාරු අත්හිටුවීමට එරෙහිව ලංකා විදුහල්පති සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්විණි. ඒ අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගන්නා බවට රාවයක් පළාතේ පැවැති අතර ඒ නිසා එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත් විය.
මෙම ස්ථාන මාරු අත්හිටුවා ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ බලතල අනුව බවත් යම් හෙයකින් එම ස්ථාන මාරු යළි ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශය ලබා දීමකින් තොරව ආණ්ඩුකාරවරයා තනතුරින් ඉවත් වුවහොත් ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවත් පළාත් අධ්‍යාපන බලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි. කෙසේ වුව ද හිටපු ආණ්ඩුකාරවරයා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම ලබා ගැනීමට පෙර දිනයේ ස්ථාන මාරු අනුමත කර තිබේ.
විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබුණේ පළාත් මාරු මණ්ඩලයේ නිර්දේශ මතය. ස්ථාන මාරු නිර්දේශ කිරීමේ පදනම වූයේ එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කර තිබීමය.