Best News Website award
brand logo
logo
කටු අනිනවා වාගේ දැනෙන  විළුඹ වේදනාව සමනයට ආයුර්වේද උපදෙස්

කටු අනිනවා වාගේ දැනෙන විළුඹ වේදනාව සමනයට ආයුර්වේද උපදෙස්

21 November 2026 | කුමුදු විජේරත්න

යටි පතුල්වල දැවිල්ලක්, වේදනාවක් හෝ හිරිවැටීමක් දැනෙනවාද? උදෑසන නැගිටින විට යටි පතුල්වල තද වේදනාවක් ඇති වෙනවාද? දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් පසු වේදනාව වැඩි වෙනවාද?

යටි පතුල් අශ්‍රිතව මෙවැනි වේදනා තිබීම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. නැවත නැවත ඇතිවන වේදනාවට හේතුව හඳුනාගෙන නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. මෙම තත්ත්වය ආයුර්වේදයේදී වාතකණ්ටක ලෙස හඳුන්වයි.


වාතකණ්ටක යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වාත දෝෂය සම්බන්ධව විස්තර කරන රෝග තත්ත්වයකි.

මෙහිදී ප්‍රධාන වශයෙන් පාදයේ විළුඹ ආශ්‍රිතව තදබල වේදනාවක් ඇති විය හැකිය. විශේෂයෙන් ඇවිදීමේදී, පාදය බිම තැබීමේදී සහ උදෑසන නින්දෙන් අවදි වී පළමු පියවර තබන විට කටුවකින් අනිනවා වැනි වේදනාවක් දැනීම මෙහිදී විස්තර කෙරේ.


නූතන වෛද්‍ය විද්‍යාව අනුව මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීමට හේතු විය හැකි තත්ත්ව දෙකක් දක්වයි.


1. පාදයේ යටි පතුලේ ඇති Plantar Fascia නම් තන්තුමය පටකයට අධික ආතතිය හා හානි ඇතිවීම.

2. විළුඹ අස්ථිය ආශ්‍රිතව අස්ථිමය අමතර වර්ධනයක් ඇතිවීම.


මෙම ද්විත්ව ආකාරය එකම රෝගය ලෙස සැලකිය නොහැකිය. මේ දෙකේදීම සෘජුව සමාන කළ නොහැකියි. රෝග ලක්ෂණ සමාන විය හැකි නමුත් නිශ්චිත හේතුව හඳුනාගත යුතුයි.


මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතු

1. වාත දෝෂය ප්‍රකෝප වීම.

2. අධික ලෙස ඇවිදීම සහ සිටගෙන සිටීම.

3. පාදවලට අධික වෙහෙස ඇතිවන ක්‍රියාකාරකම්.

4. රළු හෝ අසමාන මතුපිටක දිගු වේලාවක් ඇවිදීම.

5. පාදවලට නිසි විවේකයක් නොලැබීම.

6. අධික දුරක් ඇවිදීම හෝ දිවීම.

7. ශරීර බර වැඩිවීම.

8. පාදයට නිසි ආධාරයක් නොලැබෙන පාවහන් භාවිතය.


රෝග ලක්ෂණ

වාතකණ්ටක තත්ත්වවලදී පහත රෝග ලක්ෂණ දැකිය හැකියි.


උදෑසන පළමු පියවර තැබීමේදී වේදනාව- නින්දෙන් අවදි වී ඇඳෙන් බැස පළමු පියවර කිහිපය තබන විට විළුඹේ තදබල වේදනාවක් දැනීම.


කටුවකින් අනිනවා වැනි වේදනාව- විළුඹේ යටි පැත්තට කටුවක් ඇනෙනවා වැනි වේදනාවක් දැනීම.


ඇවිදීමේදී වේදනාව- විශේෂයෙන් විවේකයෙන් පසුව නැවත ඇවිදීම ආරම්භ කරන විට වේදනාව වැඩි වීම.


දිගු වේලාවක් සිටගෙන සිටීමේ අපහසුතාව- එක දිගට සිටගෙන සිටින විට විළුඹේ වේදනාව වැඩි වීම.


වාඩි වී සිට නැඟිටින විට වේදනාව- විවේකයෙන් පසුව නැවත ඇවිදීමේදී වේදනාව ඇතිවීම.


විළුඹ තද කළ විට වේදනාව- විළුඹේ යටි පැත්ත ස්පර්ශ කිරීමේදී හෝ තද කිරීමේදී වේදනාව දැනීම.


ඇවිදීමේ රටාව වෙනස් වීම- වේදනාව නිසා පාදය සම්පූර්ණයෙන් බිම තැබීමට අපහසු වීම.


සාමාන්‍යයෙන් ටික වේලාවක් ඇවිදීමෙන් වේදනාව අඩු විය හැකි නමුත් නැවත වැඩි වේලාවක් ඇවිදීමෙන් හෝ සිටගෙන සිටීමෙන් වේදනාව වැඩි විය හැකියි.

ආයුර්වේදයේ වාතකණ්ටක තත්ත්වය සඳහා රෝගියාගේ දෝෂ තත්ත්වය, වේදනාවේ ස්වභාවය, රෝග කාලය සහ ශාරීරික තත්ත්වය සලකා බලා ප්‍රතිකාර සැලසුම් කරනු ලබයි.


ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම


අභ්‍යංග

සුදුසු ඖෂධීය තෙල් භාවිතයෙන් පාදය සහ අවට ප්‍රදේශය සම්බාහනය කිරීම. රෝගියාගේ තත්ත්වය අනුව කළ යුතුයි.


උපනාහ

සුදුසු ඖෂධීය ද්‍රව්‍ය භාවිතයෙන් සාදන ඖෂධීය පත්තුවක් යෙදීමේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයකි.


ස්වේදන

රෝගියාට ගැළපෙන ආකාරයට ඖෂධීය තාප ප්‍රතිකාර දීම.


ඖෂධීය ලේප

සුදුසු ඖෂධීය ද්‍රව්‍ය භාවිතයෙන් බාහිරව ලේප යෙදීම.


අභ්‍යන්තර ඖෂධ

රෝගියාගේ ප්‍රකෘතිය, විකෘතිය සහ අනෙකුත් රෝග තත්ත්ව සලකා බලා සුදුසු ආයුර්වේද ඖෂධ තෝරා දීම මෙහිදී කෙරේ.


මෙම ප්‍රතිකාර සියල්ල සෑම රෝගියකුටම එකම ආකාරයෙන් ලබාදිය යුතු නොවේ. විශේෂයෙන් ඉදිමීම, රතු වීම, උණුසුම හෝ තුවාල තිබේ නම් තාප ප්‍රතිකාර සහ සම්බාහනය කිරීමට පෙර හේතුව හඳුනාගත යුතුයි.


නිවසේදී කළ හැකි සත්කාර


පාදයේ යටි පතුල Stretch කිරීම


බිම වාඩි වී කකුල ඉදිරියට දිගු කරන්න.


පාදයේ ඇඟිලි ඔබේ ශරීරය දෙසට සෙමින් ඇදගන්න.


තත්පර 15–30ක් පමණ තබා නිදහස් කරන්න.


වේදනාව වැඩි නොවන සීමාව තුළ නැවත කරන්න.


කෙණ්ඩා මාංශ පේශි Stretch කිරීම


බිත්තියකට අත් තබා එක් කකුලක් පිටුපසට තබා විළුඹ බිමට තද කර සෙමින් ඉදිරියට නැමෙන්න. මෙය කෙණ්ඩා මාංශ පේශිවල තද බව අඩු කිරීමට උපකාරී වේ.


සීතල ප්‍රතිකාරය

සීතල වතුර බෝතලයක් හෝ අයිස් පැකට්ටුවක් රෙදි කැබැල්ලකින් ඔතා විළුඹ යට තබන්න. විනාඩි 10–15ක් පමණ භාවිත කරන්න. අයිස් කෙළින්ම සම මත තබන්න එපා.


සුදුසු පාවහන් භාවිතය

විළුඹට හොඳ ආධාරයක් ලැබෙන පාවහන් භාවිත කරන්න. ඉතා තුනී පතුල් සහිත සෙරෙප්පු භාවිතය අඩු කරන්න.

නිවසේදීත් තද බිම මත පාවහන් නොමැතිව දිගු වේලාවක් ඇවිදීමෙන් වළකින්න.


වේදනාව වැඩි කරන දිවීම, පැනීම සහ දිගු වේලාවක් සිටගෙන සිටීම තාවකාලිකව සීමා කරන්න.


ප්‍රතිකාර නොකළහොත් 

ඇතිවිය හැකි ගැටලු


දිගුකාලීන විළුඹේ වේදනාව

ඇවිදීමේ අපහසුතා

පාදය බිම තැබීමේදී වේදනාව

වේදනාව නිසා ඇවිදීමේ රටාව වෙනස් වීම.

අනෙක් පාදයට හෝ කකුලේ වෙනත් ප්‍රදේශවලට අමතර ආතතියක් ඇතිවීම.

දෛනික වැඩකටයුතු සහ ව්‍යායාම සීමා වීම.


ටී.එම්. නුවන්තිකා හර්ෂණී

ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)


 

More News..