brand logo
logo
ලලිත් පියුම් පෙරේරාට ඇප

ලලිත් පියුම් පෙරේරාට ඇප

28 October 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 51ක මුදලක් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරු අදාළ තනතුරේ කටයුතු කළ කාලසීමාවේ අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඇති ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති බවය.

එම ක්‍රියාව තුළින් තුන්වන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස ජාතික තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඊට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තරුණ සේවා සභාවේ අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයුතු ලෙස වැය කිරීමට කටයුතු කර තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

More News..