2019-2025 කාලයේදී මෙරට දරු උපත් අනුපාතය 32.7%කින් අඩුවෙලා
23 July 2026
2019-2025 කාලයේදී මෙරට දරු උපත් අනුපාතය 32.7%කින් අඩුවෙලා
23 July 2026
ශ්‍රී ලංකාවේ දරු උපත් අනුපාතය බරපතළ ලෙස අඩුවී ඇතැයි ද ඒ අනුව 2019 වසරේ සිට 2025 වසර දක්වා අතර කාලයේ දී උපත් අනුපාතය සියයට තිස්දෙකයි දශම හතකින් (32.7%) පහළ ගොස් ඇතැයිද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අන්තඃජන්ම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්මිණි තේනුවර පැවැසුවාය.
2007 වසරේදී මෙරට වාර්ෂික උපත් සංඛ්‍යාව 386,000ක් ලෙස සඳහන්ව තිබුණද 2019 වසර වන විට උපත් අනුපාතය සියයට දාහතයි දශම පහකින් (17.5%)කින් අඩු වී වාර්ෂික උපත් ප්‍රමාණය 318,450ක් දක්වා උපත් 77550කින් අඩුවී ඇති බවද නවතම දත්ත මගින් තහවුරු වී ඇත.
ඒ අනුව 2019 වසරේ සිට දරු උපත් අනුපාතය සියයට තිස්දෙකයි දශම හතකින් (32.7%) අඩුවී ඇති අතර 2007 දී තිබූ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 214,500ක් දක්වා අඩු වී ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
2019 වසරේ දී මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය විවාහ වන සාමාන්‍ය වයස ඉහළ යාම, විවාහ වන පිරිස අඩුවීම ආදී කාරණා රැසක් මීට බලපා ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බවත් ඇය සඳහන් කළාය.
මෙරට දරු උපත් මේ සා විශාල ලෙස අඩුවීම සැලකිල්ලට ගෙන පවුල් සෞඛ්‍ය කාර්යංශය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයද මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් දරුවන්ගේ වටිනාකම පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ.
මේ අතර සමාජ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙරට දරු උපත් මෙලෙස පහළ යාම අනාගතයට ඉතා නරක අන්දමින් බලපෑම් එල්ල කරනු ඇති බවයි. විශේෂයෙන්ම ශ්‍රම බලකාය අඩුවීම මෙන්ම වැඩිහිටි ජනගහනය වැඩිවීම ආදී තත්ත්වයන් හේතුවෙන් ඇති වන බවද ඔවුහු කියා සිටිති.

