Best News Website award
brand logo
logo
 විශ්වවිද්‍යාල සේවකයන් දෙසැම්බර් 1 සහ 2 වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල සේවකයන් දෙසැම්බර් 1 සහ 2 වැඩවර්ජනයක

29 November 2026


රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ විධායක, පරිපාලන, ස්වාධීන සහ දේශපාලන වෘත්තීය සමිති නියෝජනය කරන සේවකයන් එළඹෙන දෙසැම්බර් 1 සහ 2 යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.


විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප්, දීමනා සහ අතිකාල දීමනා අයවැය මගින් කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා සඳහන් කළේය.


ඔහු පැවසුවේ, 2025 අයවැය මගින් විශ්වවිද්‍යාල සේවකයන්ට මෙතෙක් ලබාදුන් වැටුප් හා දීමනා කප්පාදු කිරීමට එරෙහිව අවස්ථා කිහිපයකදී විරෝධතා සහ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි.


මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය, අග්‍රාමාත්‍යවරිය, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය.


එමෙන්ම, 2026 සහ 2027 අයවැය මගින් මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ද මෙතෙක් එවැනි විසඳුමක් ලැබී නොමැති බව ද මංගල දබරේරා මහතා පෙන්වා දුන්නේය.


මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් පසුගිය 18 වැනිදා සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ බවත්, පසුගිය 25 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වෙමින් ජනාධිපති කාර්යාලය වෙත පාගමනින් ගොස් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදුන් බවත් ඔහු පැවසීය.


එහිදී ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාවේදී වැටුප් ගැටලු විසඳීම සඳහා පත්කර ඇති වැටුප් කොමිසම හරහා මෙම ප්‍රශ්නය විසඳාගත හැකි බවට අදහස් පළ වූ බව ද ඔහු සඳහන් කළේය.


කෙසේ වෙතත්, එම වැටුප් කොමිසම පත්කර ඇත්තේ ආයතන අතර සහ ආයතන තුළ පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා විසඳීම සඳහා මිස අයවැය මගින් ඇති කළ වැටුප් ගැටලු විසඳීම සඳහා නොවන බව තම වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී පැහැදිලි කළ බව ද මංගල දබරේරා මහතා කියා සිටියේය.


අග්‍රාමාත්‍යවරිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පැවැත්වූ බවත්, ගැටලුව කඩිනමින් විසඳීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණ ද මෙතෙක් එම උපදෙස් ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු චෝදනා කළේය.


ඒ අනුව, දෙසැම්බර් 1 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත්, දෙසැම්බර් 2 වැනිදා දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවකයන් වැඩවර්ජනයට එක්වීමටත් සැලසුම් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග, පර්යේෂණ, විද්‍යාගාර පරීක්ෂණ මෙන්ම විශ්වවිද්‍යාල මගින් බාහිර සමාජයට සපයන සේවාවන් ද අඩාල විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.


එබැවින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් අඩාල වීමට ඉඩ නොතබා මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී වෘත්තීය සමිති සමඟ සෘජු සාකච්ඡාවක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටින බව ද විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



 

More News..