brand logo
logo
දහම් පාසල් අධ්‍යාපනය කොටස් දෙකකට බෙදයි

දහම් පාසල් අධ්‍යාපනය කොටස් දෙකකට බෙදයි

09 January 2023 | ජයසූරිය උඩුකුඹුර

සර්වාගමික දහම් පාසල් අධ්‍යාපනය කොටස් දෙකකට බෙදා අ.පො.ස.(සා.පෙළ) විභාගයට දහම් විෂය සඳහා ලකුණු ලබා දීමේ වැඩපිළිවෙළක් සූදානම් කෙරෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරයි.


මේ අනුව දහම් පාසල් අධ්‍යාපනයට අදාළ න්‍යයාත්මක කරුණු ඇතුළත් නව විෂය නිර්දේශයක් අධ්‍යාපන අමාත්‍යාංශය,මහරගම ජාතික අධ්‍යාපන ආයතනය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සකස් කර ඇති බවද ඔහු සඳහන් කෙළේය.


මෙම වැඩසටහන යටතේ දහම් පාසල් අධ්‍යාපනයේ න්‍යායාත්මක කරුණු විදුහලේදී උගන්වන අතර අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී මෙම න්‍යායාත්මක ප්‍රශ්න පත්‍රයට ලකුණු 60% ක් හිමි වන බවත් බුද්ධ ධර්ම විෂයේ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයට ශිෂ්‍යයා ඉගෙනුම ලබන දහම් පාසලේ දී සම්බන්ධ වන ක්‍රියාකාරකම් පදනම් කර ගෙන ලකණු 40%ක් ලබා දීමට යෝජනා කර ඇති බවත් ලේකම්වරයා කීවේය.


දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ එකඟතාව ඇතිව සියලු ආගම් සඳහා පොදුවේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවද ඔහු කීවේය.


මේ අනුව ඕනෑම ආගමක් අදහන දරුවන් සිය දහම් පාසලේදී ප්‍රායෝගික ක්‍රියා කාරකම්වල නිරතවීම නිරන්තරයෙන් සිදු වනු ඇතැයි විශ්වාස කරන බවද විදානපතිරණ මහතා පෙන්වා දුන්නේය.

 

More News..