brand logo
logo
Kings රෝහල රොබෝ තාක්ෂණික සැත්කම් උසස් මට්ටමකට ඔසවා තබමින්  SSI Mantra 3.0 පද්ධතිය හඳුන්වා දෙයි

Kings රෝහල රොබෝ තාක්ෂණික සැත්කම් උසස් මට්ටමකට ඔසවා තබමින් SSI Mantra 3.0 පද්ධතිය හඳුන්වා දෙයි

25 August 2026


Kings Hospital Colombo විසින් නවීනතම SSI Mantra 3.0 රොබෝ ශල්‍ය පද්ධතිය හඳුන්වා දී තිබේ. ඉතා කුඩා කැපුම් මඟින් සංකීර්ණ ශල්‍යකර්ම වැඩි නිරවද්‍යතාවයකින් සිදුකිරීමට මෙම තාක්ෂණය මඟින් හැකියාව ලබාදෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට උසස් වෛද්‍ය සත්කාර මෙරට තුළදීම ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරයි.


මෙම නව තාක්ෂණය මඟින් Kings රෝහලේ ශල්‍ය සත්කාර සේවාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට දායක වේ. ශල්‍යාගාර වෙත රොබෝ තාක්ෂණය එකතු කිරීම හරහා, සංකීර්ණ සැත්කම් සිදුකිරීමේදී වෛද්‍යවරුන්ට ඉහළ නිරවද්‍යතාවයක්, හොඳ පාලනයක් සහ වඩාත් පැහැදිලි දර්ශනයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.


මෙහි ඇති ස්ටීරියෝකොපික් (ත්‍රිමානේක්ෂ) 3D 4K පැහැදිලි දෘශ්‍යකරණ තාක්ෂණය සහ නවීන ශල්‍ය උපකරණ පාලන හැකියාවන් හරහා, ඉතා කුඩා කැපුම් පමණක් යොදාගනිමින් ශල්‍යකර්ම සිදු කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ. මෙම රොබෝ ශල්‍යකර්ම පද්ධතිය හෘද ශල්‍යකර්ම ඇතුළු පුළුල් පරාසයක ශල්‍යකර්ම ක්‍රියාපටිපාටි සඳහා සහය වීමේ හැකියාවෙන් සමන්විත වේ. රෝගියාගේ තත්ත්වය සහ ශල්‍යකර්මයේ ස්වභාවය අනුව, මෙවැනි කුඩා කැපුම් මඟින් සිදුකරන ශල්‍යකර්ම හරහා රුධිර වහනය සහ ආසාදන අවදානම අඩු විය හැකි අතර, රෝහල් ගතව සිටිය යුතු කාලය කෙටි කරමින් රෝගීන්ට ඉක්මනින් සුවය ලබා ගැනීමටද සහාය විය හැකිය.


මෙම ආයෝජනය කෙටි කාලීන ශල්‍ය ප්‍රතිලාභ ඉක්මවා යන දිගුකාලීන අරමුණකි. ඇතැම් සංකීර්ණ ශල්‍යකර්ම සඳහා ශ්‍රී ලාංකික රෝගීන්ට විදේශගත වීමේ අවශ්‍යතාව අඩු කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි. එමෙන්ම, රොබෝ සහාය ලත් ශල්‍ය තාක්ෂණය පිළිබඳ දේශීය වෛද්‍ය විශේෂඥතාව වර්ධනය කිරීම සහ අනාගත ශල්‍ය වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය පුහුණු අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි කොළඹ Kings රෝහල දක්වන දිගුකාලීන අවධානය ද මෙමඟින් පැහැදිලි වේ.


SSI Mantra 3.0 පද්ධතිය අවශ්‍ය නීතිමය, සායනික සහ තාක්ෂණික පසුබිම සම්පූර්ණ වීමෙන් පසු, අනාගතයේ දුරස්ථ ශල්‍යකර්ම සීදුකිරීමේ හැකියාවන් සඳහාද පදනමක් සපයයි. ඒ හරහා ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා භූගෝලීය වශයෙන් වෙනස් ස්ථාන දෙකක සිටියද, ශල්‍යකර්ම සිදුකිරීමේ හැකියාව ලැබේ.


Kings Hospital Colombo ශ්‍රී ලංකාවේ ස්ථාපිත පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනයක් වන අතර, නවීන පහසුකම් සහ රෝගීන් කේන්ද්‍ර කරගත් සේවා ප්‍රවේශයක් සමඟ උසස් වෛද්‍ය සත්කාර සපයයි. SSI Mantra 3.0 තාක්ෂණය හඳුන්වා දීම හරහා Kings රෝහලේ ශල්‍ය වෛද්‍ය ප්‍රවීණතාව තවදුරටත් ශක්තිමත් වන අතර, රෝගීන්ට සැබෑ ප්‍රතිලාභ ලබාදිය හැකි අතිනවීන තාක්ෂණයන් සඳහා රෝහල සිදුකරන අඛණ්ඩ ආයෝජනයද මෙයින් පැහැදිලි වේ.


මෙම නව තාක්ෂණික පද්ධතිය මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වන බැවින්, ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව අදියරයකට Kings රෝහල සූදානමින් සිටී. ඒ හරහා සංකීර්ණ සැත්කම් සහ උසස් වෛද්‍ය සේවාවන් ලාංකික ජනතාවට වඩාත් පහසුවෙන් ලබාගන්න අවස්ථාව හිමිවේ.

 

More News..