brand logo
logo
විශාල පරිසර හානියක් සිදුකර අනවසරයෙන් මැණික් ගැරූ ස්ථානයක් වටලයි

විශාල පරිසර හානියක් සිදුකර අනවසරයෙන් මැණික් ගැරූ ස්ථානයක් වටලයි

17 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා නෝර්වුඩ් ෆෝට්ට්‍රී වතුයායේ ඇළ මාර්ගයක් හරස් කරමින් විශාල වළවල් හාරා පරිසර හානියක් සිදු කරමින් ජාවාරම්කරුවන් පිරිසක් කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය අනවසර මැණික් ගැරීමක් වැටලීමට හැටන් ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ පොලිස් ප්‍රදීප් වීරසේකර මහතා ඇතුලු එම කොට්ඨාශයේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් විය.                  

                                 

නෝර්වුඩ් පොලිසියට ඉතාම ආසන්නයේ දිවා රාත්‍රී දෙකේ සිදු කරගෙන ගිය මෙම මැණික් ගැරීම මීට වසරකට පමණ ප්‍රථම හැටන් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මත බැකෝ යන්ත්‍ර යොදාගෙන සම්පූර්ණයෙන්ම වසා දමා තිබියදීත්, යලිත් එම ජාවාරම්කරුවන් 100කට ආසන්න පිරිසක් යොදා ගනිමින් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ෆෝට්ට්‍රී ඇළ හරස් කරමින් එම භූමියේ මැණික් ගැරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වී ඇති අයුරු එම වැටලීමට එක් වූ අප කැමරාවේ මෙසේ සටහන් විය.                       


දිවා රාත්‍රී දෙකේ මුරකරුවන් යොදාගෙන සිදු කරන මෙම ජාවාරම වැටලීමට සිදු කල මෙහෙයුමේදි සැකකරුවන් පලා ගොස් ඇති අතර, සැකකරුවන් විසින් එම භූමියේ සගවා තිබූ වතුර මෝටර් 6ක් සහ මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත් විය.                               

                        

ජාවාරම්කරුවන් විසින් ඇළ මාර්ග හරස් කර මැණික් ගරා තිබූ විශාල වළවල් කඩා දැමීමටද වැටලීමට ගිය පොලිස් නිළධාරින් පියවර ගැනිණ.          

                                

මෙම මෙහෙයුමට එක් වූ හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා මෙවැනි මහාරිමාණ පරිසර විනාශයක් සිදු කරන තෙක් ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාරගයක් නොගැනීම සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිළධාරින්ගෙන් නිදහසට කරුණු විමසා ඇති අතර, එම වතුයායේ පාලන අධිකාරිය කැදවා යලිත් එම භූමියේ බැකෝ යන්ත්‍රයක් යොදා වසා දමන ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබා දෙනු ලැබූවා.

 

More News..