brand logo
logo
දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල වැවේ පිහිනා නැගෙනහිරම දිනයි

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල වැවේ පිහිනා නැගෙනහිරම දිනයි

29 July 2026 | • සම්පත් රණතුංග - දෙහිඅත්තකණ්ඩිය

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැගෙනහිර පළාත් පිහිනුම් ශූරතාවලියේදී පදක්කම් 119ක් ද සමගින් සමස්ත ශූරතාව දිනා ගැනීමට ඉකුත්දා සමත් වූ අතර පිහිනුම් තරග සඳහා පුහුණුවීමට අවැසි කිසිදු පහසුකමක් නොමැතිව මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයකි.


ත්‍රිකුණාමලය නගර සභා පිහිනුම් තටාකයේ පැවැති තරගාවලියේදී සමස්ත ශූරතාවට අමතරව බාලක ශූරතාව, බාලක සහාය පිහිනුම් ශූරතාව, බාලිකා අනුශූරතාව සහ බාලිකා සහාය පිහිනුම් අනුශූරතාව දිනා ගැනීමට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් කණ්ඩායම සමත් වද්දී, ඩබ්.එම්.යූ. සෙව්මිණි 14න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය. එම ජයග්‍රහණ අතරට රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 48ක් සහ ලෝකඩ පදක්කම් 20ක් ඇතුළත් විය.


මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු රුසිරු ගයාන් සෙන්දනායක ‍යටතේ රොන්මඩ පිරුණු වැව්වල, ඇළවල් හා අමුණුවල පුහුණුවීම් අරඹා ඇති අතර වසර තුනක පමණ කාලයක් පුහුණුවෙන් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත. කිලෝමීටර් 65ක් දුරැති පොළොන්නරුව රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ පුහුණුවීම සඳහා රාජකීය විදුහලේ විදුහල්පති ගුරුභවතුන් ද, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා පිහිනුම් තටාකය භාවිතය සඳහා ප්‍රාදේශීය සභා සභාපති ගයාන් දර්ශන ඇතුළු නිලධාරීන් ද සහය දැක්වු බව දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් විදුහල්පති කේ.එම්. සමරපාල සඳහන් කළේය.

 

More News..