brand logo
logo
චීනයට ගිය ටිල්වින් ඇතුළු 29දෙනා යළි දිවයිනට

චීනයට ගිය ටිල්වින් ඇතුළු 29දෙනා යළි දිවයිනට

20 June 2025 | ටී.කේ.ජී.කපිල - කටුනායක

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව , එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා දූත පිරිසක් , දින 10 ක සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගොස් තිබූ අතර ,ඔවුන් එම සංචාරය නිමා කර ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


මෙම සංචාරය චීන රජයේ පූර්ණ අනුග්‍රහය මත සිදු වූ බවත් , තමන් එරට ප්‍රාන්ත කීපයකම සංචාරයේ නිරත වෙමින් , එරට ප්‍රාන්ත ප්‍රධානීන් කීපදෙනෙකු මුණ ගැසුණු බවත් , ඔවුන් මෙරට සංවර්ධනය සදහා අඛණ්ඩව සහාය ලබා දීමට පොරොන්දු වූ බවත් ටිල්වින් සිල්වා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.


මෙම සංචාරය තුළ දී එරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කර ඇති ආකාරය , ඒවායේ දුප්පත්කම තුරන් කර ඇති ආකාරය සහ ඒ සදහා තාක්ෂණය යොදා ගෙන ඇති ආකාරය , තමන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් විසින් පෙන්වා දුන් බව ද ටිල්වින් සිල්වා මහතා සදහන් කළේය.


ඒ අනුව මෙරට දුප්පත්කම දුරලා ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම සදහා තාක්ෂණය භාවිතා කිරීමට , ඉදිරියේ දී අවශ්‍ය සැළසුම් සකස් කිරීමට රජයට මග පෙන්වීම් සිදු කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.


මෙම පිරිස ඊයේ (19) දින රාත්‍රී 06.20 ට චීනයේ ෂැංහයි නුවර සිට , චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

More News..