Best News Website award
brand logo
logo
පහෙන් එකකට සීනි

පහෙන් එකකට සීනි

21 November 2026 | ඉන්දික සංජීව විතාන

මෙරට ජනගහනයෙන් සියයට දහනවයක පමණ පිරිසක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත් ඒ අනුව මෙරට සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන් එක්අයකු මෙම රෝගයට ගොදුරුවී සිටින බවත් මෙම සංඛ්‍යාව මීට වඩා තවත් වැඩිවිය හැකි බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පසුගිය දවසක පවසා තිබුණේය. මෙම තත්ත්වයේ බරපතළකම දෙස බලා තවදුරටත් කරුණු සොයායෑමේදී දැනගන්නට ලැබුණේ අද වනවිට ශ්‍රී ලංකාව පුරා සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයකුට පමණක් නොව නාගරික පුදේශවල සෑම පුද්ගලයන් 4 දෙනකුගෙන් එක් අයකුට මෙම නිහඬ දියවැඩියා වසංගතයට මුහුණ දීමට සිදුව ඇති බවය.

දියවැඩියාව මුල් අවධියේදීම හඳුනා ගැනීම හා පිළියම් යෙදීම මගින් ප්‍රමාද කර ගැනීමට හැකියාව ඇති බවත් ජනතාව ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු බවත් ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය තමරා විජයරත්න කියන්නීය.

‘දියවැඩියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම හා දිනෙන් දින වැඩිවන මහජන සෞඛ්‍ය අභියෝගයක්. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනට අනුව 2024 වර්ෂය වනවිට මුළු වැඩිහිටි ජනගහනයෙන් 10.2%ක් දියවැඩියා රෝගීන්. ඒ කියන්නේ වැඩිහිටි පුද්ගලයන් 10 දෙනකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්. ශ්‍රී ලංකාව තුළ දියවැඩියාව සහිත ඒත් තවමත් හඳුනා නොගත් රෝගීන් සහ පූර්ව දියවැඩියාව සහිත රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් ඉන්නවා කියල අනුමාන කරනවා. දකුණු ආසියානුවන්ගේ ශරීරය තුළ ඉන්සියුලින් සඳහා යම්කිසි ප්‍රතිරෝධි බවක් දක්නට ලැබෙනවා වගේම සාපේක්ෂව අඩු ශරීර ස්කන්ධ දර්ශක මට්ටම්වලදීත් (BMI) උදරයේ මේදය තැන්පත් වීමට වැඩි නැඹුරුවක් තියෙනවා. මේ මගින් දියවැඩියාව හා වෙනත් බෝනොවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. නාගරීකරණය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, අඩු ක්‍රියාශීලීත්වය සහ තරබාරුකම මෙම අවදානම තවදුරටත් වැඩි කරනවා. ප්‍රජා පරීක්ෂාව ශක්තිමත් කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ සංකූලතා කලින් හඳුනා ගැනීම රටක් ලෙස මෙම රෝගය වැළැක්වීම සඳහා ඇති ප්‍රමුඛතා විය යුතුයි.’

දියවැඩියාව කියන්නේ ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හෝ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය දුර්වලවීම නිසා, දීර්ඝකාලීනව රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පැවැතීමේ රෝගී තත්ත්වයකි. ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ ගියවිට එය නියමිත මට්ටමට ගෙනඒම සදහා ඉන්සියුලීන් හෝමෝනය වැදගත් බව වෛද්‍ය තමරා කියන්නීය. සාමාන්‍යයෙන් ඔබට දියවැඩියාව තිබේදැයි පහසුවෙන් හඳුනා ගැනීමට ලක්ෂණ තුනක් ඇත්තේය. එකක් නිතර නිතර මුත්‍රා පහ කිරීම, අධික පිපාසය සහ අධික කුසගින්න ඒවාය. අනෙකුත් රෝග ලක්ෂණ අතර උත්සාහයකින් තොරව බර අඩුවීම, අධික තෙහෙට්ටුව, අපැහැදිලි පෙනීම, නැවත නැවතත් ඇතිවන ආසාදන සහ තුවාල සුවවීමට වැඩි කලක් ගතවීම වැනි දේ දක්නට හැකිය.

‘ජාන, දියවැඩියාව ඇතිවීමට සැලකිය යුතු ලෙස දායක වෙනවා, නමුත් දියවැඩියාව සහිත පවුල් ඉතිහාසයක් තිබුණු පමණින් කෙනකුට අනිවාර්යයෙන්ම රෝගය ඇතිවන්නේ නෑ. පළමු ගණයේ දියවැඩියාව සඳහා ඇතැම් විට යම්කිසි ජානමය නැඹුරුතාවක් පවතිනවා. දෙවන ගණයේ දියවැඩියාවට ජානමය සාධකවලට අමතරව පාරිසරික සහ ජීවන රටාව පිළිබඳ සාධකත් බලපානවා. ජානමය නැඹුරුතාවක් වෙනස් කළ නොහැකි වුණත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් (සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක මධ්‍යස්ථ මට්ටම ව්‍යායාම), උසට සරිලන නිවැරැදි බර පවත්වා ගැනීම, දුම්කොළවලින් වැළකී සිටීම සහ නිතිපතා පරීක්ෂා කිරීම මගින් 2 වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කළ හැකියි.

දියවැඩියාව පිළිබඳ පවුල් ඉතිහාසය ගැන බියෙන් ඉන්නවාට වඩා, රෝගය ඇතිවීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීමට අපි දිරිමත් විය යුතුයි. දැන් ළමා දියවැඩියාව වැඩිවන ප්‍රවණතාවක් තිබෙනවා. ළමයින් අතර තරබාරුකම වැඩිවීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, අධික සීනි සහිත ආහාර පාන වර්ග සහ සැකසූ ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම, ශාරීරික අක්‍රියබව, උදාසීන ජීවන රටා සහ පවුල් ඉතිහාසය යන කරුණු බලපානවා. මවගේ ගර්භණී දියවැඩියා තත්ත්වයත් දරුවාට අනාගතයේ දියවැඩියාව වැලඳීමේ අවදානම වැඩි කළ හැකියි.’

වෛද්‍ය තමරා කියන ආකාරයට දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට අපට හැකියාවක් ඇත්තේය. රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම හොඳින් පාලනය කිරීම, ඇස් සහ වකුගඩු පරීක්ෂා කරගැනීම සහ නිතිපතා පාද පරීක්ෂා කිරීම මගින් සංකූලතා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට හැකියාව ඇත්තේය.

රුධිර සීනි මට්ටම දරුණු ලෙස පහළ බැසීම හෝ දිගුකාලීනව රුධිර සීනි මට්ටම පහළ බැසීම වැඩිහිටි රෝගීන් සහ දුර්වල වකුගඩු ක්‍රියාකාරීත්වයක් ඇති රෝගීන්ට විශේෂයෙන් සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවල දී වෙනත් නවීන ඖෂධ විකල්පවලට ඔබේ වෛද්‍යවරයා විසින් ඔබව යොමු කිරීමේ හැකියාව ඇත්තේය. ඒ සඳහා ඖෂධ සෑම විටම වෛද්‍ය උපදෙස් යටතේ පමණක් ලබාගත ගත යුතුය.

දියවැඩියාව පාලනය කිරීම සහ ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් දියවැඩියා මධ්‍යස්ථානය මගින් විශේෂ වැඩසටහන් රාශියක්ම ක්‍රියාක්මක කරන්නේය. එහිදී දියවැඩියාව කල් ඇතිව හඳුනා ගැනීම, සංකූලතා පාලනය සඳහා පරීක්ෂා කිරීම, වෛද්‍ය උපදේශනය, පෝෂණ උපදේශනය, සංකූලතා නිරීක්ෂණය කිරීම සහ රෝගියාගේ ස්වයං කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම ඒ අතරින් කිහිපයක්ය. මීට අමතරව වෙනත් ආයතන සඳහා සහ ප්‍රජාව අතර දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සහ පරීක්ෂා කිරීමේ සැසි පවත්වන්නේය.

එමෙන්ම පළමු ගණයේ දියවැඩියාව ඇති දරුවන් සඳහා නොමිලයේ ඉන්සියුලින් සහ ඒ ආශ්‍රිත ආම්පන්න ලබාදීම සිදුකරන්නේය. දියවැඩියාව පාලනය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා පළමු ගණයේ දියවැඩියාව සමග ජීවත් වන තරුණ ප්‍රජාවට ඉන්සියුලින්, ග්ලූකොමීටර සහ ග්ලූකොමීටර තීරු ඇතුළු ඉන්සියුලින් සම්බන්ධ උපාංග නොමිලේ සැපයීම සඳහා 1998දී ඉන්සියුලින් බැංකුව පිහිටුවන ලද අතර එහි දැනට ලියාපදිංචි පුද්ගලයන් 750කට අධික සංඛ්‍යාවක් සහ නිතිපතා සහභාගී වන්නන් 100කට වඩා සිටින්නේය.

‘දියවැඩියාව පාලනයකින් තොර වූණාම අනවශ්‍ය ලෙස ශරීරය කෙට්ටු වෙනවා. ඒක ලස්සන කෙට්ටුවීමක් නෙමෙයි. ඔබේ රුධිරයේ සීනි නිසි පරිදි ක්‍රියාකාරීවීම සඳහා සෛල තුළට ඇතුළු විය යුතුයි. පෙර පැවසූ ලෙස ශරීරය ඉන්සියුලින් නිපදවන්නේ නැතිනම් හෝ ඉන්සියුලින් නිසි පරිදි ක්‍රියාකරන්නේ නැතිනම් රුධිරගත ග්ලූකෝස්වලට සෛල තුළට ඇතුළු වෙන්න බැහැ. එයාකාරයට ඇතුල් වන්නේ නැත්තම් ශරීරයේ කටයුතු පවත්වාගන්න ශක්තිය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔබේ ශරීරයේ මේදය හා ක්‍රමයෙන් ප්‍රෝටීන බිඳවැටී ශක්තිය ලබාදෙන්න උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස ප්‍රෝටීන්වලින් සැදුම්ලත් ඔබේ පේශී ටික ටික ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒකයි දියවැඩියාව තියෙන අයගේ උත්සාහයකින් තොරවම ක්ෂණික බර අඩුවීමක් වෙන්නේ. මේ ක්‍රියාවලිය පිටතට පේන්නේ ඇඟ ‘දියවෙලා’ යනවා වගේ.’

දියවැඩියාව සදහා ප්‍රතිකාර කිරීමේ දී ක්‍රම දෙකක් පටලවා ගැනීම නොකළ යුතුය. තෙඹු කොළ, කරවිල යුෂ මේ ආදිය ඔබ සාමාන්‍ය ආහාර රටාවේ අනෙකුත් පලා වර්ග, එළවළු භාවිත කරන ආකාරයට ලබාගත්තාට වරදක් නොමැත. නමුත් දියවැඩියාවට බටහිර බෙහෙත් ලබාගන්න අතරවාරයේ තවත් සීනි අඩුවීමට යැයි පවසා ‘බෙහෙත්’ ලෙස නිතර නිතරම මෙවැනි දේ අනවශ්‍ය ලෙස වැඩිපුර ලබා ගැනීමෙන් ඇතැම් ගැටලු ඇති විය හැකි බව වෛද්‍ය තමරා කියන්නීය.


වෛද්‍ය තමරා විජයරත්න


 

More News..