30% බද්ද එලෙසම පැවතුණොත් ඇඟලුම් ක්ෂේත්‍රය අනතුරේ
13 July 2025 | සාලිය කුමාර ගුණසේකර
30% බද්ද එලෙසම පැවතුණොත් ඇඟලුම් ක්ෂේත්‍රය අනතුරේ
13 July 2025 | සාලිය කුමාර ගුණසේකර
ඇමරිකා එක්සත් ජනපදය මෙරටට ලබාදී තිබෙන 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද එලෙසම පැවැතියහොත් එරට ඇඟලුම් ගැණුම්කරුවන් මෙරටට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැණුම්කරුවන් වෙත යොමුවීමේ අවදානමක් පවතින බවත්, මෙම තීරු බදු ප්‍රතිශතය වෙනස් කරගැනීමට රජය එරට සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කළයුතු බවත්, එය ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නිරත ලක්ෂ ගණනකට බලපාන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි.
ඇමරිකා එක්සත් ජනපදය ඇඟලුම් අපනයනකරුවකු වන බංග්ලාදේශයට 35% ක තීරු බද්දක් පනවා ඇතත්, එය අඩු කර ගැනීමට බංග්ලාදේශය මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, ඉන්දියාව දරන ස්ථාවරයේ වෙනසක් නොමැති වූවද ශ්‍රී ලංකාවට වඩා වැඩි වාසියක් එරටට හිමිවනු ඇතැයි මීට පෙරදී සඳහන් වූ බවත් එම සංසදය කියයි. මෙරට සමග ඇඟලුම් ක්ෂේත්‍රයේ තරග කරන වියට්නාමයට 20% ක තීරුබද්දක් පනවා තිබෙන බව ද එම සංසදය කියයි.
ඇමරිකාවට ඇඟලුම් අපනයනකරුවකු වන කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට ඔවුන් ද උත්සාහ දරමින් සිටින බව එම සංසදය පවසයි. අගෝස්තු මස පළමුවැනිදාට පෙර මෙරටට පනවා තිබෙන බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට රජය උත්සාහ දරනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය අපේක්ෂා කරන බවත්, මෙම තත්ත්වය මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපාන බවත් එම සංසදය පවසයි.
මෙරට ඇඟලුම්වලින් වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයටය. ශ්‍රී ලංකාවට පනවා තිබෙන 30% අන්‍යොන්‍ය තීරු බද්ද එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය කරන කලාපයේ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාව සිදුකරන තරගකාරිත්වයට බලපෑම් එල්ල කරන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පවසයි.