brand logo
logo
පොලිසියට ඕනෑ විදිහට ජංගම දුරකථන අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

පොලිසියට ඕනෑ විදිහට ජංගම දුරකථන අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

31 October 2026

ඉස්සර උසාවි ඉදිරිපිට නැතිනම් පොලිසිවල බැරල්, බූලි පමණක් නොව වාහනත් දිරායමින් තිබුණේය. ඒවා එක්කෝ නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ඒවාය. නැතිනම් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමින් පොලිසිවල ගොඩ ගසා තිබෙන දේවල්ය.


නඩු භාණ්ඩයක් ලෙස යමක් ගෙන ගිය පසුව ඒ ගැන තිබෙන ආසාවන් අතහැරගත් කාලයක් තිබුණේය. ඒ එම නඩුව අවසන් වන තෙක් නඩු භාණ්ඩ නිදහස් කරගැනීමට නොහැකිවීමය. මෑතකදී අපේ මිතුරකු අප සමග කීවේ ඔහුගේ නවීන මෝටර් රියක් පොලිස් භාරයට ගෙන මාස පහක් පොලිස් බිමේ ගාල්කර තිබේ. ගෙදර ගිය පසු අලුත්වැඩියාවට ලක්ෂ පහක් වැය වූ බවය. නඩුවට සම්බන්ධ බවට ඔප්පුවන නඩු භාණ්ඩ විනාශ කර දැමීමට හෝ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම කාලයක් තිස්සේ කරගෙන ආ දෙයකි. එහෙත් ඒවා වෙන්දේසි කරන විට දිරාපත්වී ගොස් තිබීම අලුත් දෙයක් වූයේ නැත. එහෙත් දැන් නම් නඩු භාණ්ඩ උසාවි ඉදිරිපිට ගොඩ ගසාගෙන ඉන්නවා දකින්නට නැත. ඒ නඩු භාණ්ඩ ඉක්මනින් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් දැන් අනුගමනය කරන නිසාය.


එදා මෙන් නඩු භාණ්ඩ අධිකරණයේ ගොඩ ගසාගෙන ඉන්නේ නැති වුණත්, වෙනදාට නඩු භාණ්ඩ ලෙස වැඩියෙන් ඉදිරිපත් නොවූ දෙයක් දැන් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීමේ ලකුණු පහළවෙමින් තිබෙන්නේය. ඒ වෙන කිසිවක් නොව ජංගම දුරකතනයි.


ජංගම දුරකතන හෝ සිම්පත් නඩු භාණ්ඩ ලෙස යොදා ගත් අවස්ථා ගැන සිහිපත් කරන විට බොහෝ දෙනාගේ මතකයට එන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයයි. බෝම්බ ප්‍රහාරයෙන් පසුව සැකකරුවන් සොයා යාමට හැකිවූයේ බෝම්බකාරිය සතුව තිබූ ජංගම දුරකතනයේ තිබූ සිම්පත යළිත් සකස් කර ඒ හරහා දුරකතන තොරතුරු විශ්ලේෂණය කිරීම නිසාය.


දැන් පොලිසිය සිම්පත් විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත් ජංගම දුරකතන ගැන කිසියම් තොරතුරක් ලැබුණහොත් ඒවා අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුඩ්ලර් සඳහන් කළේ පසුගිය සතියේදීය. ඒ පොලිස් මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදීය.


ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම, ගිනි අවි සංසරණය, ආදී බරපතළ අපරාධ සඳහා ජංගම දුරකතකන භාවිත කළ අවස්ථා ගැන කරුණු අනාවරණය වී ඇති බවය. මෙවැනි වැරැදි වැළැක්වීමට පොලිසිය කටයුතු කරන බවත්, එහිදී පොලිස් ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි පනත්වල ප්‍රතිපාදන අනුව ජංගම දුරකතන පරීක්ෂා කිරීමට කටයුතු කරන බවය.


ඔහු මේ බව සඳහන් කර තිබුණේ බලහත්කාරයෙන් ජංගම දුරකතන පරීක්ෂා කිරීම් හා පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන තිබෙන වීඩියෝ විනාශ කිරීම් ගැන සාකච්ඡාවක් ඇතිවෙමින් තිබෙන අවස්ථාවකදීය. ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා සඳහන් කරන්නේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සැකයක් ඇතිවන අවස්ථාවකදී පොලිසියට එය තමන්ගේ භාරයට ගැනීමේ හැකියාවක් ඇති බවය. ඉන් පසුව එය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.


පොලිසිය විසින් ජංගම දුරකතනයක් තමන්ගේ භාරයට ගත් විට එහි ඇති දත්ත සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ සඳහන් කරන්නේය. ඔහු සඳහන් කරන්නේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්තද එහි අදාළ නොවන පුද්ගලික දත්තවලට ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් සීමා ඇති කරගන්නේ කෙසේද යන්නයි.

“ජංගම දුරකතනවල බොහෝ දත්ත තිබෙනවා. ඒ අදාළ විෂයට සම්බන්ධ නොවන දේවල් තිබෙනවා.


දුරකතතනයම සන්තකයට ගත්තාම ඒවායේ තියෙන සෑම දෙයකටම ප්‍රවේශය තිබෙනවා. ඒකේ අපරාධය සම්බන්ධයෙන් සාක්ෂියක් තිබෙනවා නම් ඒක නඩු භාණ්ඩයක් විදියට ගන්න බෑ. ඒ වගේම පොලිසියට දුරකතනයේ තිබෙන පුද්ගලික දත්තවලට යාමේ හැකියාවක් නෑ” කනිෂ්ක විතාරණ සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ පනත්වලට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී හැර අනෙක් සාමාන්‍ය නීතියක් යටතේ සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකතන වෙත ප්‍රවේශවීමේ අවස්ථාවක් පොලිසියට ලැබෙන්නේ නැත. බලහත්කාරයෙන් ජංගම දුරකතනයේ මුර පද විවෘත කිරීමේ හැකියාවක් පොලිසියට ඇත්තේ නැත. ඒ සඳහා පොලිසියට අවස්ථාව ලැබෙන්නේ අධිකරණයේ අවසරයක් ගැනීමෙන් පසුවය.


ජංගම දුරකතනයක් නඩු භාණ්ඩයක් සේ සැලකුවත් එහි ඇති දත්ත, පුද්ගලික තොරතුරු ඩිජිටල් තොරතුරු ආරක්ෂා කිරීමේ නීති අනුව ආරක්ෂා කර තිබෙන්නේය. ඒවා ගැනීමට නම් අධිකරණයේ අවසරයක් තිබිය යුතු වන්නේය. එය අධිකරණය තීරණය කරන්නේ තුලාවේ දෙපැත්තම සමබර වන ආකාරයටය. එසේ නැතිව පොලිසියේ රබර් මුද්‍රාවක් ලෙස අධිකරණය සෑම විටම කටයුතු නොකරනු ඇත්තේය.

සංජය නල්ලපෙරුම

 

More News..