brand logo
logo
 රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් ගැන නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් ගැන නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය

21 October 2026


රජය විසින් මෑතකදී ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB)’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මඟින් පෙන්වා දී ඇත්තේ, මෙම පනත් කෙටුම්පත් මඟින් විධායකයට අධික බලතල ප්‍රදානය කෙරෙන අතර, පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේදී අධිකරණ අධීක්ෂණය දැඩි ලෙස සීමා කෙරෙන බවය.


1. රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධ ගැටලු


මීට පෙර සකස් කරන ලද කෙටුම්පතට සාකච්ඡා මාර්ගයෙන් එකඟ වූ කරුණු වෙනස් කරමින්, ගැසට් කරන ලද අවසන් පනත් කෙටුම්පත සකස් කර ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. එහි ඇති ප්‍රධාන අඩුපාඩු ලෙස පහත කරුණු පෙන්වා දී ඇත.


අනිවාර්ය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම - සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු ඇගයීමට මහේස්ත්‍රාත්වරයාට ඇති අභිමතානුසාරී බලය සීමා කරමින් රිමාන්ඩ් කිරීම අනිවාර්ය කර තිබීම.


ඇප ලබා ගැනීමේ දැඩි සීමා - මහාධිකරණයෙන් පමණක් ඇප ලබා ගත හැකි වීම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වැරදිවලදී ඇප ලබා දීම සුවිශේෂී අවස්ථාවලට පමණක් සීමා වීම.


අධිකරණ අනුමැතියකින් තොරව රඳවා ගැනීම් දීර්ඝ කිරීම - මුල් මාස දෙකෙන් ඔබ්බට රඳවා තබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කර තිබීම.


මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම - මෙම පනත් කෙටුම්පත මඟින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ, සමාගමයේ සහ යාම් ඊම්වල නිදහස මෙන්ම වධහිංසාවලින් ආරක්ෂා වීමේ අයිතියට තර්ජනයක් එල්ල වන බැවින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණයක් ලබා ගැනීමේ පෙත්සමක් ගොනු කර ඇත.


2. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධ ගැටලු


කිසිදු මහජන උපදේශනයකින් තොරව හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත හරහා සුළු වැරදි පවා "දරුණු අපරාධ" ලෙස වර්ගීකරණය කර ඇති බව නීතිඥ සංගමය අවධාරණය කරයි.


පුළුල් වපසරිය - බුද්ධිමය දේපළ, කතෘ හිමිකම් උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වන සංරක්ෂණ වැරදි වැනි සාමාන්‍ය වැරදි පවා සංවිධානාත්මක අපරාධ ලෙස හැඳින්වීමේ අවදානමක් ඇත.


අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීම - අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත වසරක කාලයක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලැබීම සහ මහේස්ත්‍රාත්වරයා ඊට යටත් වීම.


සාමකාමී විරෝධතා සහ සිවිල් සමාජය මර්දනය වීමේ අවදානම - වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, සාමකාමී විරෝධතා සහ තරුණ ප්‍රජාව අසාධාරණ ලෙස මෙම පනතේ බලපෑමට ලක් විය හැක.


පොලිස් පාපෝච්චාරණ පිළිගැනීම - පොලිස් අත්අඩංගුවේදී ලබා ගන්නා ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලස්වා තිබීම මඟින් සැකකරුවන්ගේ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අහිමි වේ.



ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් රජය සහ අදාළ පාර්ශ්ව වෙත පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.


PSTA පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම හෝ කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන ගෙන ඒම.


කාරක සභා වාර්තාව සහ එහි සිදු වූ වෙනස්කම්වලට හේතු ප්‍රසිද්ධ කිරීම.


OCB පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම සහ පුළුල් මහජන උපදේශනයකින් පසු පමණක් එවැනි නීති ඉදිරිපත් කිරීම.


ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) ප්‍රමාදයකින් තොරව අහෝසි කිරීම.


නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීම සඳහා නීතිඥ සංගමය අඛණ්ඩව පෙනී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


පිටු 7කින් සමන්විත සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

More News..