නාකොළගනේ අලි නාඬන්
17 October 2026
නාකොළගනේ අලි නාඬන්
17 October 2026
ඔක්තෝබර් දොළොස්වැනිදා පැවැත්වුණු අමාත්ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ අතරින් වඩාත්ම කැපී පෙනුණේ පරිසර අමාත්ය ධම්මික පටබැඳිගේ ගේ යෝජනාවය.
ඒ, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නාකොළගනේ අභයභූමිය ප්රකාශයට පත්කිරීම ගැනය.
ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඒකාබද්ධ සමීක්ෂණයක් මගින් හෙක්ටයාර 682ක ඉඩම් ප්රමාණයක් නොහොත් අක්කර 1685කට ආසන්න භූමි ප්රමාණයක් වනජීවී අභයභූමියක් ලෙස ප්රකාශයට පත් කිරීමට හඳුනාගෙන ඇත.
පරිසර අමාත්යවරයාගේ මේ යෝජනාව එකවර අහසින් පාත් වූ එකක් නම් නොවේය. මේ යෝජනාව පිටුපස ඇත්තේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔඩු දිවූ පාරිසරික ඛේදවාචකයක් වෙනුවෙන්, 2026 මැයි 06 වැනි දින ශ්රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකි. එසේ ශ්රේෂ්ඨාධිකරණය තීන්දුව ප්රකාශයට පත් කළේ පරිසර යුක්ති කේන්ද්රය 2022 වර්ෂයේ ගොනු කළ SCFR / 351 / 2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙනි.
ගල්ගමුවට ආසන්න නාකොළගනේ පුරාණ රාජමහා විහාරය ආශ්රිත අක්කර 1500කට අධික වනාන්තර භූමියක් අනවසරයෙන් විනාශ කිරීම හේතුවෙන් එම ප්රදේශයේ ජන ජීවිතයටත්, වනසතාටත්, පරිසරයටත් වී ඇති ඛේදවාචකය සම්බන්ධව එකී පෙත්සම ගොනු කරන්නේ පරිසර යුක්ති කේන්ද්රයත්, එහි අධ්යක්ෂවරු වන හේමන්ත විතානගේ සහ දිලෙන පාත්රාගොඩ ය.
නාකොළගනේ රාජමහා විහාරයේ විහාරාධිපති වලත්වැවේ රාහුල හිමි විසින් සන්නස් පත්රයකින් ලැබුණු සඟ සතු දේපළ එම විහාරාධිපතිට අයිති දේපළ බවට සලකාගෙන, එම භූමියට අයිති විශාල වනාන්තර ප්රමාණයක් එළි පෙහෙළි කිරීමටත්, විශේෂයෙන් ඒවා පෞද්ගලික පර්ශ්වයන්ට බදු දීමටත්, බැහැර කිරීමටත් කටයුතු කිරීම හේතුවෙන් එම වනාන්තර නිජභූමිය වූ අලි ඇතුන්ට එම වනාන්තර අහිමි වීමෙන් ඔවුන්ගේ ගමනාගමනයට, ආහාර සපයාගැනීමට මෙන්ම, කුඩා වැව් ආශ්රිත කොට ඉදිකර ඇති ඉදිකිරීම් හේතුවෙන් සතුන්ගේ ජල අවශ්යතාව පවා අහිමි වී යාම තුළ ක්රමයෙන් එම අලි ඇතුන් ආහාර, ජලය සොයාගෙන මිනිස් වාසයන් සහිත ප්රදේශ හරහා සංක්රමණයවීම හේතුවෙන් එම ප්රදේශය ලංකාවේ වැඩිම අලි-මිනිස් ගැටුම ඇති ප්රදේශය බවට වර්ධනයවීම පිළිබඳ පෙත්සම්කරුවෝ කරුණු, සාක්ෂි සහිතව ඉදිරිපත් කළහ.
ඊට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව, විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, මධ්යම පරිසර අධිකාරිය, වයඹ පළාත් අධිකාරිය ඔවුන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු නොකර තිබීම මේ තත්ත්වය මෙලෙස උග්ර අතට පත්වීමට තුඩු දුන් බවක් පෙන්වා දුන්හ.
එපමණක් නොව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු පාර්ශ්ව 11ක් මෙම නඩුවේ වගඋත්තරකරුවෝ ලෙස ඉදිරිපත් කළෝය.
එකී කාරණා වග විභාග කිරීමෙන් අනතුරුව මේ ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්රකාශයට පත්කළේ ඉකුත් මැයි හයවැනිදාය. නඩු තීන්දුව ප්රකාශයට පත් කළේ ජනක් ද සිල්වා, ප්රියන්ත ප්රනාන්දු, සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලකි.
එම නඩු තීන්දුව ප්රකාශයට පත්කරමින් ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළේ එම ප්රදේශය අභයභූමියක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් බවට ප්රකාශ කිරීමටය.
ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට සොබාදහම සතාසීපාවා වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ප්රකාශ වූ අවස්ථාව මෙය වෙයි. මෙම නඩුවේදී පරිසර යුක්ති කේන්ද්රයේ පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිර්මල් වික්රමසිංහගේ උපදෙස් මත, නීතිඥ ආචාර්ය රවින්ද්රනාත් දාබරේ, සමන්ති පොන්නම්පෙරුම ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
පරිසර අමාත්යවරයා විසින් අමාත්ය මණ්ඩල තීරණ ලෙස යෝජනා කොට සම්මත කරගත්තේ එලෙස ලැබුණු ශ්රේෂ්ඨාධිකරණ නියෝගය ක්රියාත්මක කිරීම පිණිසයි.
‘‘මේ නඩුවේ ශ්රේෂ්ඨාධිකරණ තීන්දු ප්රකාරව මේ ප්රදේශයේ වන අලි ගැවසෙන ප්රදේශ කීපයක් රක්ෂිත බවට පරිවර්තනය කිරීමට නියෝග කළා. වන අලි රක්ෂිත ගැසට් කිරීමේ ක්රමවේදයක් තියෙනවා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ එම ගැසට් කිරීම සාමාන්යයෙන් කරන්නේ පරිසර අමාත්යවරයා විසින් එම අමාත්යවරයා විසින් ඒ අධිකරණ නියෝගය ප්රකාරව තමයි, නාකොළගනේ වන අලි රක්ෂිතය පසුගියදා ගැසට් මගින් ප්රකාශයට පත් කළේ.’’
නීතිඥ ආචාර්ය රවින්ද්රනාත් දාබරේ මේ ගැන පැහැදිලි කළේය.
මෙම වන අලි රක්ෂිතයට අයත් වන ප්රදේශය එම නඩුවේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ සිතියම් ප්රකාරව ගැසට් කෙරේ.
‘‘එම ඉඩම් සන්නසක් මගින් තමන්ට හිමි බව වලත්වැවේ රාහුල කියන හිමිනම ප්රකාශ කළත්, එම සන්නස නීතිය ඉදිරියේ පිළිගත නොහැකි සන්නසක් බව ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කළා. ඒ අනුව ඒ සන්නසට අදාළ බිම් කොටස්වලින් සෑහෙන ප්රමාණයකුත් මේ ගැසට් කළ රක්ෂිතයට ඇතුළත් වෙනවා.’’
ඒ අනුව, එම සන්නසට අයත් භූමි ප්රමාණයකුත්, පාළුකඩවල වැව ආශ්රිත ප්රදේශයත්, විවිධ වාණිජ වගා කෙරුණු කුඹුරු, හේන්වලට එළි පෙහෙළි කළ වනාන්තර කොටසකුත් මේ වන අලි රක්ෂිතයට ඇතුළත් වෙයි.
වන අලි රක්ෂිතය නොහොත් අභයභූමියට අදාළ සියලුම නීති ක්රියාත්මක වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ වන අලි රක්ෂිතයකට නැතිනම්, අභය භූමියකට අදාළ නීතිරීතිවලට යටත්වය. එම වන අලි රක්ෂිතයට ගැනෙන භූමි සීමාව තුළ දැනට ඉදිකර ඇති වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නැති විදුලි වැට ඉවත් කිරීම සිදුවෙයි. එසේම අලුත් විදුලි වැටක් ඉදිකරන්නේ නම් එය ඉදිවන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිවයි.
‘‘දශක තුනක් පමණ තිස්සේ මෙම වනාන්තර ප්රදේශය විවිධ වාණිජ වගා, අඹ වගා, ගස්ලබු වගා, හේන් වගා වගේම සූර්යබල ව්යාපෘති වැනි දේ සඳහා අත්තනෝමතිකව දීලා තිබුණා. එම වගාවන් නිසා විවිධ ප්රමාණයට විදුලි වැට ඉදිකර තිබුණා. එම වනාන්තර අතර පාළුකඩවල වැව් ඉස්මත්තේ සහ අතරගල්ල වැව් ඉස්මත්තට අදාළ වනසතාගේ නිජභූමිය කොල්ලකමින් තිබුණා. මේ ඛේදවාචකය පිළිබඳව ප්රදේශවාසීන් විසින් කළ ඉල්ලීම සොයා බලලා තමයි 2022 වසරේදී පරිසර යුක්ති කේන්ද්රය අධිකරණයේ මෙම නඩුව පවරන්නේ.’’
පරිසර යුක්ති කේන්ද්රයේ සභාපති හේමන්ත විතානගේ කීවේය.
‘‘මේ වෙද්දි මේ තීරණය වෙනුවෙන් ගම්වාසීන් ඔවුන්ගේ සහයෝගය පළකරමින් ඔවුන් විසින් ඉදිකළ විදුලි වැට ඉවත්කරගෙන තිබෙනවා. මීට සති දෙකකට පෙර ඉඩම් දෙකක් වටා විදුලි වැට ගැසීමට සැලසුම් කර තිබුණත් ඒ පිළිබඳව සැලවීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව වහාම එය වැළැක්වීමට ක්රියාත්මක වී තිබුණා. තවමත් අඹ වත්ත සහ තවත් ස්ථානයක විදුලි වැට ඉවත්කර නැති බව ආරංචි මාර්ග දන්වා තිබෙනවා. ඒවාත් බොහෝම ඉක්මනින් ඉවත් කරලා මේ නඩු තීන්දුව ක්රියාත්මක කිරීම කඩිනම් කළ යුතුයි.’’ ඔහු වැඩිදුරටත් කීවේය.
මෙම අභයභූමිය ස්ථාපිත කිරීමට අමතරව මෙම නඩු තීන්දුවේදී ඉතා දුර්ලභ නියෝගයක්ද තිබිණි.
තමන්ට පැවරුණු රාජකාරි වගකීම ඉෂ්ට නොකිරීම සම්බන්ධව පමණක් නොව, එනිසා සිදුවූ පරිසර හානියටත්, අනෙකුත් ගැටලුවලටත් වගකීම භාරගෙන සමාව ඉල්ලා සිටීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාටත්, මධ්යම පරිසර අධිකාරියටත්, වයඹ පළාත් අධිකාරියටත් නියෝග කිරීමය.
ඒ කෙසේද යත්, වූ වැරැදිවලට වගකීම භාරගැනීම සහ මෙවැනි දේ නැවත නොවන ආකාරයට ඔවුන් ගන්නා පියවර අන්තර්ගත පුවත්පත් ප්රකාශයක් ඉරිදා පුවත්පත් තුනක භාෂා තුනෙන්ම පළ කිරීමටය.
‘‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, මධ්යම පරිසර අධිකාරියත් මේ වනවිට ඒ පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකොට තිබුණා. නමුත් තවමත් මෙහි අටවැනි වගඋත්තරකරු වන වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් ඔවුන්ගේ දැන්වීම පළ කළ බවක් අපට සඳහනක් නෑ’’ යැයිද හේමන්ත විතානගේ සිහි කැඳවීය.
‘‘මේ ඓතිහාසික නඩු තීන්දුව නිසා දශක තුනක කාලයක් තිස්සේ මේ ප්රදේශයේ ඇතිව තිබූ ගැටලු ගණනාවකට විසඳුම් ලැබුණා. වන විනාශය, අලි-මිනිස් ගැටුම, නීතිවිරෝධී ඉඩම් පරිහරණය යන කාරණා සියල්ල මේ තීන්දු ක්රියාත්මක වීමේදී ක්රමිකව යථා තත්ත්වයට පත්විය යුතුයි.’’
නීතිඥ ආචාර්ය රවින්ද්රනාත් දාබරේ කීවේය.
මෙම සංරක්ෂණ ප්රදේශය, එසේත් නැතිනම් අභයභූමිය ප්රකාශ කළාට පසුව දැනට විනාශ වූ වනය නැවත මුල් තත්ත්වයට සමාන තත්ත්වයට පත්කිරීමට වලත්වැවේ රාහුල හිමිගේ වියදමින් නැවත වන වගාව කරවන ලෙසත් වනජීවී අධ්යක්ෂවරයාට ශ්රේෂ්ඨාධිකරණ නඩුවේ තීන්දුව ප්රකාරව නියෝග ලැබී ඇත.
අනුපමා ගල්කඩවල

