brand logo
logo
ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු රාජකාරි අරඹයි

ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු රාජකාරි අරඹයි

02 November 2026


ජෝර්දානයේ, ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතා අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කර තිබේ.


ජෝර්දානයට පැමිණි නව තානාපතිවරයා ගුවන්තොටුපොළේදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.


රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාව සාම්ප්‍රදායික ආගමික වතාවත්වලින් ආරම්භ කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවට, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ආශීර්වාද ප්‍රාර්ථනා කර තිබේ.


එම උත්සවයෙන් අනතුරුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් නව තානාපතිවරයා සිය ධුර කාලය තුළ ප්‍රමුඛත්වය ලබාදෙන ප්‍රධාන අරමුණු පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.


ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික සහ ආයතනික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම මෙන්ම නව ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.


එමෙන්ම ජෝර්දානයේ ජීවත් වන සහ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය, අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු සඳහන් කර තිබේ.


මීට අමතරව, කලාපයේ සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ද සිය ප්‍රමුඛ අරමුණක් බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.


වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතා මීට පෙර 2021 සිට 2024 දක්වා කාලය තුළ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.


එසේම ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ද ඔහු සේවය කර ඇත.


බංග්ලාදේශය, ඉන්දියාව, සෞදි අරාබිය සහ සිංගප්පූරුව යන රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ද ඔහු සේවය කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවිධ ප්‍රධාන තනතුරුවල ද රාජකාරි ඉටු කර තිබේ.

 

More News..