තෙල් නෞකාවකට හෝමූස් සමුද්ර සන්ධියේදී ප්රහාරයක්
31 October 2026
තෙල් නෞකාවකට හෝමූස් සමුද්ර සන්ධියේදී ප්රහාරයක්
31 October 2026
පැනමා ධජය යටතේ යාත්රා කළ සහ ඉන්දීය නාවිකයන් 27දෙනෙකු රැගත් තෙල් ප්රවාහන නෞකාවකට හෝමූස් සමුද්ර සන්ධියේදී ප්රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්රහාරයෙන් නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර, නෞකාව තාවකාලිකව අක්රිය වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් 27දෙනාම ආරක්ෂිතව සිටින බවත්, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් ඉන්දීය රජය තහවුරු කර ඇත.
ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග අමාත්යවරයා ප්රකාශ කර ඇත්තේ, නාවිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා රජය අදාළ නෞකාව කළමනාකරණය කරන සමාගම සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවය.
විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ, කුඩා බෝට්ටුවකින් පැමිණ පිරිසක් අදාළ නෞකාව වෙත ළඟා වී එහි බඳ කොටසට බෝම්බ දෙකක් සවි කර ඇති බවය.
පසුව එම බෝම්බ පුපුරා යාමත් සමඟ නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවද සඳහන් වේ.
නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ගින්න පාලනය කර ඇති අතර, කිසිදු පරිසර හානියක්ද වාර්තා වී නොමැත.
ඕමානයේ ඛසාබ් ප්රදේශයට ඊසාන දෙසින් නාවික සැතපුම් 25ක් පමණ දුරින් මෙම සිදුවීම වාර්තා වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය (UKMTO) සඳහන් කර ඇත.
මේ අතර, මීට පෙර ඔක්තෝබර් 29 වන දින ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුද රැගත්, ලයිබීරියානු ධජය යටතේ යාත්රා කළ MT ARZANAH නමැති දැවැන්ත බොරතෙල් ප්රවාහන නෞකාවකටද හෝමූස් සමුද්ර සන්ධියේදී ප්රහාරයක් එල්ල වී තිබුණි.
එම නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් 29දෙනාද ආරක්ෂිතව සිටින බවත්, කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් අමාත්යවරයා තහවුරු කර ඇත.
කෙසේවෙතත් මෙම ප්රහාරයන් සමග ලෝක බලශක්ති සැපයුම සඳහා අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්ර සන්ධියේ වාණිජ නෞකාවල ආරක්ෂාව පිළිබඳව යළිත් ජාත්යන්තර අවධානය යොමුව තිබේ.

