brand logo
logo
අකුරණ අනතුරින් තුවාල ලද කිහිපදෙනෙකුට බරපතලයි

අකුරණ අනතුරින් තුවාල ලද කිහිපදෙනෙකුට බරපතලයි

20 October 2026 | කමල් සුරවීර - මහනුවර

අකුරණ, කුරුගොඩ මංසන්ධියේ 19 දින පෙරවරුවේ සිදුවූ මාරක අනතුරින් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ දෙදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව සෞඛ්‍ය සේවා සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.  


ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික සමාගමකට අයත් විශාල බල්කර් ලොරි රථයක් අධික වේගයෙන් පැමිණ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව අකුරණ කුරුගොඩ මංසන්ධියේදී ත්‍රීරෝද රථ 04 ක්, ලොරි රථ 02 ක්, යතුරු පැදි 04 ක් ද බරපතළ ආකාරයෙන් අනතුරට ලක් කොට මාර්ගය අසල වෙළඳ සැලකට මෙන්ම ප්‍රදේශයට විදුලිය සපයන ප්‍රධාන ට්‍රාන්සිපෝමරයටද බරපතල හානි සිදුකොට පෙරළී යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අලවතුගොඩ පොලීසිය පවසයි.  


මෙම මාරක අනතුර හේතුවෙන් ප්‍රියන්ත අමරසූරිය (52) අලවතුගොඩ, මොහොමඩ් මර්සූක් පසාල් (40) කුරුගොඩ, දෙව්මිණි රසාංගිකා හේරත් (16) කුරුගොඩ, සත්‍යවේල් මෝකළකාන්ති (28) මාතලේ . යන සිව් දෙනා එම ස්ථානයේම මරණයට පත් වූ අතර කේ. සත්‍යවේලු (54) රත්තොට, රාමසාමී අලගේස්වරි (44) රත්තොට, එම්. ජී අනුලාවතී (63) කුරුගොඩ, දිළුම් සේනානායක (25) මාතලේ, ඉමේෂ් බණ්ඩාර නවරත්න (26) මාතලේ යන අයවලුන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. 


මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අලවතුගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර අනතුර සිදුකළ රථය ධාවනය කළ රියදුරා වන ආර්.ඩී. රණසිංහ යන අය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

 

More News..