brand logo
logo
කංජිපානි - දෙහිබාලේට ගිය දෙවුන්දර කාවඩි පෙරහර

කංජිපානි - දෙහිබාලේට ගිය දෙවුන්දර කාවඩි පෙරහර

01 August 2026 | අනීෂා මානගේ

දෙවිනුවර කී විට අපේ මතකයට එන කාරණා දෙකක් ඇත්තේය. එකක් මේ කොදෙව්වේ සිව්කොනේ දකුණු කොන වූ දෙවුන්දර තුඩුවය. අනෙක උපුල්වන් දෙවියන්ය. උපුල්වන් දෙවියන්ගේ තෙද බල ගුණ කියැවුණේ ගම්පොළ යුගයේ ලියැවුණු තිසර හා මයුර සංදේශ කාව්‍ය දෙකේය. මයුර සංදේශය ලියන්නේ සත්වන බුවනෙකබාහු රජ හා ජනතාව රැක ගැනීමට උපුල්වන් දෙවියන්ට අයැද සිටිමිනි. එහෙව් තෙදෙස්බල උපුල්වන් දෙවියන් වෙනුවෙන් කැප කළ මහ පෙරහර භර ඇත්තන් ගිය සතියේ උතුර, දකුණ මාරු වන ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. එදා රජ රකින්නට සිටි උපුල්වන් දෙවි අඩවිය මෙදා රැක ගත්තේ විශේෂ කාර්ය බළකාය යොදාය. සංදේශය ආවේ තිසරකු හෝ මයුරකු අත නොවේ, පාතාලයකුගෙනි. ඊට හේතු වූ කාරණාව විස්තර කරමින් දුරකථන ඇමැතුම ආවේ පිටරට සිටය. මගවරුණක් නැතිවම ඇමතුම දුන් පුද්ගලයා කෙළින්ම කාරණාවට බැස්සේය. සංදේශ කාව්‍යවල උපුල්වන් දෙවියන් ගැන කළ සාහිත්‍ය බස වෙනුවට ඇමැතුම දුන් පුද්ගලයා බජාර් භාෂාවෙන්ම කතා කළේය. එසේ කතා කළ බව කියන්නේ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නමින් කුප්‍රකට පාතාලයා ය. ඔහු නියෝග දී තිබුණේ අවුරුදු පතා උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවොලේ පවත්වන මහ පෙරහර මඟුල පවත්වන ආකාරය ගැනය. කංජිපානිගේ අණට හරහට හිටියේ කංජිපානි සේම එතෙරට පැන සිටින දෙහිබාලේය. දෙහිබාලේ දෙවුන්දරට පිටස්තරයෙක් නොවේ. දෙවුන්දර යැයි කියන්නේ දෙහිබාලේගේ අඩවියය. ඔහුගේ උපන් ගමය. මේ දෙන්නාගේ ගැටුම උපුල්වන් දෙවිදුන්ගේ මහා පෙරහර මඟුල පාතාල කෙළියක් බවට පෙරළුණේය. ඒ පාතාල ගැටුම කරළියට ආවේ කලක පටන් දෙවුන්දර ඔඩුදුවන කාවාඩි හටනකින්ය. ඒ හටනේ මූලාරම්භය වූයේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් කාවාඩි නටන නර පණුවන්ට පෙරහරේ යන්නට තහංචි වැටීමත් සමගය. අවසානයේ දෙවුන්දර දෙවොලේ කාවාඩි හටන රජය මැදිහත් වී විසඳිය යුතු මහා බරපතළ ගැටුමක් බවට පෙරළුණේය.

කාවාඩි යැයි කියන්නේ දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ මහ පෙරහර මඟුලේ නැතුවම බැරි අංගයක්ය. දෙවිනුවර ජන්මය කරගත් පවුල්වලටම සුවිශේෂී වූ එකක් යැයි කීවද එහි වැරැද්දක් නැත. සාමාන්‍යයෙන් පෙරහරක කාවාඩි අංග දෙකක් හෝ තුනක් නර්තනයේ යෙදුනත් දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාල මහ පෙරහරේ කාවාඩි එක දෙකකින් සෑහෙන්නට බැරිය. අඩුම තරමේ කාවාඩි කණ්ඩායම් තිහ හතළිහක්වත් තිබීම අනිවාර්යය. මෙදා සැරේ කාවාඩි කණ්ඩායම් හතළිස් පහකට මහ පෙරහරේ යන්නට අවසර ලැබුණේ අවසාන මොහොතේය. දෙවිනුවර උදවියට උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ මහ පෙරහර සමග ඇත්තේ අමුතුම තාලයේ සම්බන්ධකමකි. ලේ නෑකමකට එහා ගිය ඒ බැඳීම උන්ගේ ඇට මස් ලේ නහර දිගේ පපුවටම ගලා යන්නේය. රටේ කොයි ඉසව්වක සිටියත් මහ පෙරහර කාලයට දෙවුන්දර උදවියගේ නෑදෑ සනුහරය ගම්බිම් බලා එන්නට අමතක කරන්නේ නැත.


කොටින්ම කියනවා නම් දේවාලයේ මහ පෙරහර පැවැත්වෙන ඇසළ පෝය ද දෙවුන්දර? ගම්මුන්ගේය. මුළු රටටම එය ඇසළ පෝය වුවද ඔවුන්ට එය දෙවුන්දර පෝයය. ඇසළ පෝය සමග බුද්ධ චරිතයේ සුවිශේෂී සිද්ධින් රැසක් එකට ගැට ගැසී තිබුණද දෙවුන්දර වැසියන්ට ඊට වඩා පෝය වැදගත් වන කාරණා රැසක් ඇත්තේය. දෙවුන්දර පෝය දෙවුන්දර උදවියට බොහෝ සුවිශේෂීය. අවුරුදු කාලයට ගෙවල් දොරවල් පිරිසුදු කරන්නා සේ දෙවුන්දර පෝයට ඒ උදවිය ගෙයි මකුළු දැල් කඩති. පෝය හඳ මෝදු වෙන්නට මත්තෙන් ගෙයි බිත්ති පාට කර පිරිසුදු කර ලක ලැහැස්ති වන්නේය. දුර බැහැර වෙසෙන පවුලේ උදවිය පෝය කිට්ටු කරද්දි ගම්බිම් බලා පිටත් වෙන්නේය. අතහරින්නට බැරි කාරණාවක් හැරුණුකොට දෙවුන්දර උදවිය හැමෝම වාගේ උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ මහ පෙරහර මඟුලට සහභාගී වෙන්නේය.


එදා පටන් දෙවුන්දර දෙවොලේ පෙරහර පැවැත්වෙන්නේ කතරගම ඇසළ පෙරහරින් පසුවය. එයට හේතුව විෂ්ණු දෙවියන් කතරගම සිට දෙවුන්දරට වඩින්නට වුවමනා නිසාය. විෂ්ණු දෙවියන් කතරගම සිට වැඩම කරන මග දෙපස ගම් දනව්වල ගෙයි මිදුලේ පහන් පැලක් සකස් කරන්නත් දකුණේ උදවිය වෙහෙසෙන්නේය. අදටත් දෙවුන්දර උදවිය විෂ්ණු දෙවියන් වෙනුවෙන් ගෙයි මිදුලේ පහන් පැලක් පත්තු කරන්නේ අතුරු ආන්තරාවක් නැතුව දෙවියන්ට ගම හොඳින් පෙනෙන්නැයි සිතාගෙනය.


අලුත උපන් කිරිදරුවන් වැඩෙද්දි ඉඳුල් කටගෑම, අකුරු කියවීම ආදී චාරිත්‍ර කරන්නා සේ දෙවුන්දර ගමේ උපදින දරුවන්ටම වෙන්වූ අපූරු චාරිත්‍රයක් ඇත්තේය. මේ ගමේ වෙසෙන සෑම කෙනකුම පාහේ පෙරහරේ ගොස් ඇතැයි කැට තියා කියන්නට පුළුවන. ඒ මන්ද යත් දෙවිනුවර වෙසෙන උදවියගේ පවුල්වල දරුවෙක් ලොව මොන තූත්තුකුඩියක ඉපදුනත් ඒ දරුවා ඉපදුණු පසු පැවැත්වෙන උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ පළමුවැනි පෙරහරේ රැගෙන යන්නේය. ඒ, දේවාභරණ සහිත හස්තියාට පිටුපසින් යන බස්නායක නිලමේගේ පිටුපසින්ය.


උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවොලේ පෙරහර මඟුලේ කාවාඩි යැයි කියන්නේද ඊට නොදෙවෙනි සංස්කෘතික අංගයක්ය. එය හුදෙක් චාරිත්‍රානුකූල කාවාඩිවලට බොහෝ වෙනස්ය. උරහිස පිටුපස තබාගෙන නර්තනයේ යෙදෙන කාවාඩි කූඩුව දෙවුන්දර කාවාඩිවල නැත. සමහරු නටන්නේ තිශූලයක් අතේ තියාගෙනය. හිසෙහි කාවාඩි කූඩුය. කාවාඩි කණ්ඩායමේ බොහෝ විට සිටින්නේ පිරිමිය. ඒ හැරුණු කොට තරුණියන් සහ කුඩා දරුවන් සිටින්නේ කලාතුරකින්ය. කාවාඩි නටන සියල්ලන්ටම විශේෂිත වූ ඇඳුම් විලාසිතාවක් ඇත්තේය. උඩු කය නිරුවතින් සිටින පිරිමි උදවිය වර්ණවත් වේට්ටියකින් සැරසී සිටින්නෝය. කණ්ඩායමට අදාළ තේමාවකින් වේට්ටියේ පැහැය හා ලාංඡනය හැඩවී ඇත්තේය. ඇතැමුන්ගේ වේට්ටියේ එක් පොටක් අතේය.

මීට වසර පහ හයකට ඉහතදී නම් කාවාඩි කණ්ඩායමේ සියල්ලෝම ඇන්දේ තේමාවකට හැඩකළ සුදු පැහැති වේට්ටියක් ය. ඒත් දැන් ඒවාද නවීන පන්නයට හැඩ වී වර්ණවත් බතික් රෙද්දෙන් සැරසිලාය. නිරුවත් උඩුකයේ පිටෙහිද කාවාඩි කණ්ඩායමට අදාළ ලාංඡනය ඇත්තේය. දැන් ඒ ලාංඡනය කොටන්නේ පතොරමක් තබා තීන්ත ස්ප්‍රේ කිරීමෙන්ය. තීන්ත මතට දිලිසෙන කුඩු දමා හැඩ කරන්නේය. මේවා දකින පුංචි එවුන්ට රජමඟුල්ය. ඔවුන්ටත් වුවමනා කාවාඩි නටන්නටය.


දෙවුන්දර උදවියට කාවාඩි නටන්නට තරාතිරමක් නැත. පන්ති භේදයක් නැත. ලොකු ලොකු තනතුරු තානාන්තර දරන උදවියත් වේට්ටියක් ඇඳගෙන දෙවුන්දර පෝයට කාවාඩි නටන්නේ උපුල්වන් දෙවියන්ට කරන පූජාවක් හැටියටය.


වසර කිහිපයක පටන් කාවාඩි නටන ගණිත ගුරුවරයකු සේම යතුරුපැදි ක්‍රීඩා තරකරුවකු අපට හමුවුණේය. ඔහු මහීල් පවිත්‍ර ය. ඔහුද මාතර දෙවුන්දරට නුදුරු කෝට්ටෙගොඩය. වසර දහයක පමණ පටන් ඔහු මාතර තොටමුණ මිහිඳු පෙරහරේ කාවාඩි නර්තනයේ යෙදෙන්නේය.


“මම පෙරහරේ නටන්න කලින් කතරගම දේවාලයටයි විශ්ණු දේවාලයටයි ගිහින් භාරයක් වෙනවා ආයෙ එතනටම ඇවිත් නටනවා කියලා. අපි හිතින් පේවෙනවා. අපිට දෙවියන්ගෙ ආශිවර්වාදය ලැබිලා වස්දොස් දුරුවෙලා දෙවියන්ට පූජාවක් කරනවා කියල හිතේ තියාගෙනයි මම නටන්නේ. දැන් තරුණයෝ මේ දේවල් කරනවාද දන්නෙ නැහැ. නටන්නෙ ඇයි කියලා දැන් තරුණයෝ දන්නෙ නැහැ. මගේ පොඩි පුතාත් මාත් එක්ක නටන්න යනවා. හැබැයි එයා වුණත් දන්නෙ නෑ ඇයි නටන්නෙ කියලා..” මහීල් කියන්නේය. දශක කිහිපයක පටන් දෙවුන්දර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහරේ වැඩිපුරම කාවාඩි නැටුවේ මූදු රස්සාවට යන උදවියය. කොහොමත් දකුණේ වැඩිපුරම වෙසෙන්නේ මසුන් අල්ලා එදාවේල සරිකරගන්නා උදවියය. රස්සාවට මූදු යන්නට මත්තෙන් මේ උදවිය බාර හාර වෙන්නේ උපුල්වන් දෙවියන්ටය. ඒ, කිසිදු අතුරු ආන්තරාවක් නැතිව ආපසු ගොඩබිමට එන්නත් සරු අස්වැන්නක් ලැබෙන්නත් හිතාගෙනය.


සාමාන්‍යයෙන් මූදු රස්සාව කරන මුදලාලිලා තමන්ගේ ගෝලයන් එකතු කර කාවාඩි කණ්ඩායමක් හදන්නෝය. වියදම දරන්නේ මුදලාලිය. කාවාඩි කණ්ඩායමකට වියදම බොහෝ සැරය. ඇඳුම් වියදමටත් වඩා වියදම් වෙන්නේ සංගීත කණ්ඩායමටය. දෙවුන්දර උදවිය කියන හැටියට සංගීත කණ්ඩායමට පමණක් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය වෙන්නේය. සංගීත කණ්ඩායමේ උදවිය ගෙන්වන්නේ පෙරහරට කලින් දවසේය. ඔවුන්ට ඉඳුම් හිටුම්, කෑමබීම වියදමද සැරය. කාවාඩි කණ්ඩායම පෙරහර වෙනුවෙන්ද මුදලින් කොටසක් වෙන් කරන්නට වුවමනාය. මේ සියල්ලම ගත්කල කාවාඩි කණ්ඩායමේ නටන්නට වුවමනා උදවිය රුපියල් විසි තිස් දහසක් වියදම් කරන්නට වෙන්නේය. කාවාඩි නටන්නට ඇති වුවමනාව කෙතරම්ද කියනවා නම් ඇතැමුන් කනකර පවා උකස් කරන්නට දෙවරක් හිතන්නේ නැත.

කාවාඩි කණ්ඩායමේ වියදම සොයාගන්නට කරන තවත් උපක්‍රමයක් ඇත්තේය. ඒ මඩු බැසීමය. මඩු බහිනවා යැයි කියන්නේ ගමේ වෙසෙන මුදල් යහමින් ඇති ඇත්තන්ගේ නිවෙස්වලට ගොස් නැකතට නැටීමය. මඩු බහින්නට යන ගෙදරින් මුදල්, රහමෙර ලැබෙන්නේය. මඩු බහින්නට මත්තෙන් එකල උදවිය බුදුන් ඉදිරියේ පන්සිල් සමාදන් වෙන්නටද අමතක කරන්නේ නැත. එකල උදවිය කාවාඩි නැටුවේ සති ගණනින් පේවිලාය. කොටින්ම කියනවා නම් සෙරෙප්පු දෙකක්වත් නොදමාය. මේ උදවිය රහමෙර ඇබිද්දක්වත් කටේ තියන්නේ නැත. ඒත් දැන් උදවිය කාවාඩි නටන්නේ උපුල්වන් දෙවියන්ටත් කොකා පෙන්නලාය. ගංජා, අයිස් ගසාය. ගංජා බී කාවඩි නටන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. ඒ රහස මෙවර නිල වශයෙන්ම අනාවරණය වූයේ කාවඩි නටන්න පැමිණි පිරිස කවදාවත් නැතිව පොලිසිය මෙවර පරීක්ෂා කළ නිසාය. ඒ කාවඩි වේශයෙන් පාතලයන් පැමිණ වෙඩි තබන සූදානමක් ගැන බුද්ධි තොරතුරක් ලැබීම නිසාය. මෙසේ කාවඩි නටන සමහරුන්ගේ ඇගේ පච්චා කොටලාය. වෛවර්ණයෙන් කොණ්ඩ පාට කරලාය. සෙරෙප්පු පමණක් නොවේ හොඳ වර්ගයේ සපත්තුද දමාගෙනය. රන් මාලවලින් ඇඟම වහගෙනය. නටන්නේ ඉර බැහැගෙන යන වේලාවේ වුවද අව් කණ්ණාඩි දෙක ගැලවෙන්නේ නැත.


එහෙව් නර පණුවන් කාවාඩි නටද්දි නොහොඳ නෝක්කාඩු ඇති වෙන්නට ගත වෙන්නේ තත්පරයකිනුත් දාහෙන් එකක්ය. ඇතැම්විට ඒ නෝක්කාඩු අවහර වන්නේ තුන් හතර දෙනකුට ජීවිතය අහිමි කරමින් ය. එහෙමත් නැතිනම් තුන් හතර දෙනෙක් රෝහලටත් තවත් කිහිප දෙනෙක් පොලිස් කූඩුවටත් යවමින්ය.

දෙවුන්දර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ වාහල්කඩ ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු පරලොව ගියේ වසර එකහමාරකට පමණ පෙරදීය. එය ඝාතනයකි. එදා මේ තරුණයන් දෙදෙනාගේ ඝාතනය ගැන චෝදනාව එල්ල වූයේ මෙදා කංජිපානිගේ බහට හරහට උන් දෙහිබාලේටය. ඝාතනයට හේතුව හැටියට එකල කියැවුණේ කාවාඩි නටන අතරතුර ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බවය. පෙරහරේ කාවාඩි කණ්ඩායම් අතර නෝක්කාඩු දකුණේ උදවියට අරුමයක් නැත. ගහ මරාගන්නට ඇඟිල්ලක් ගෑවුණත් ඇතිය. අලුත් තාලයේ කාවාඩි නැටුම උරුම දෙවුන්දර උදවියට පමණක් නොවේ. දෙවුන්දර සිට මාගම්පුරය දෙසට යනවිට හමුවන දික්වැල්ල, වැව්රුකන්නල, කෙමගොඩ, කෝන්දෙණිය, කුඩාවැල්ල, තංගල්ල, බෙලිඅත්ත ආදී බොහෝ පැතිවල උදවියට කාවාඩි නැතුවම බැරිය. හත් වසරකට එපිටදී බෙලිඅත්ත පලපොත මිහිඳු පෙරහරේ කාවාඩි කණ්ඩායමත් පෙරහර නරඹන්නට පැමිණි පිරිසත් අතර ඇතිවූ නෝක්කාඩුවක් දුරදිග ගොස් නැවතුණේ ගුටිබැට හුවමාරුවකින් පසුවය. කොහොමත් පෙරහර දා රෑට පොලිසියට කරන්නට වැඩ වැඩිය. එක්කෝ මේ උදවිය ත්‍රිශූලවලින් ඇනගෙනය. මේ උදවියට මන්නා පිහියද සෙල්ලම් බඩුවක්ය. වේට්ටිය අස්සේ සඟවාගත් පිහියක් හෝ මේ වේලාවට එළියට එන්නේය. ඒ මොකුත්ම නැතිනම් අතපයින් ගහගෙනය. දෙපිල බෙදී ගහමරාගන්නා තැනට පත්වුණ කාවාඩි සම්ප්‍රදායේ ඉතිහාස කතාව දැන සිටීමද බොහෝ වටිනේය. මේ ගැන අපි ඇසුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොතගෙන්ය. ඔහු කියන හැටියට කාවාඩි සම්ප්‍රදාය පැවත එන්නේ මුරුගන් දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ ඉන්දියානු සම්ප්‍රදායෙන්ය.


“කතරගම දෙවියන් විදියට අපි හඳුන්වන මුරුගන් දෙවියන් සමග බැඳුණු ඉන්දියානු සම්ප්‍රදායානුකූල පුරානෝප්ති කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව සුර අසුර ගැටුමක් ඇතිවෙනවා. ඒ ගැටුමේදී සුරයන් පරාද වෙනවා. ස්කන්ධ කුමාර හෙවත් මුරුගන් ඉදිරිපත්වෙලා අසුරයන් පරාද කරනවා. සුරයන් මෙතැනදී කියනවා අසුරයන්ට නැවත ජීවය දෙන්න කියලා. දඬුවමක් විදියට අසුර නායකයාට කියනවා මුරුගන් වෙනුවෙන් ගෞරව දක්වන්න කඳු දෙකක් නම්කරලා ඒ අතරෙ ලීයක් බැඳලා මුරුගන් ඉන්න කන්දට එන්න කියලා. එය සංකේතවත් කරමින් තමයි දෙවියන්ට කරන භක්ති පූජාවක් විදියට ලීයක් බැඳලා කඳක් වගේ උරහිසේ තියාගෙන එන්නෙ...” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත කියන්නේය.


මුරුගන් හෙවත් ස්කන්ධ කුමාර දෙවියන්ට පූජා පැවැත්වීමේ සම්ප්‍රදාය අතීතයේ ගොඩනැගී ඇත්තේ ලීයෙන් තැනූ කඳක් උරහිස මත තබාගෙන පූජා භාණ්ඩ කන්ද මතට රැගෙන ගොස් පූජා කිරීමෙන්ය. කාවාඩි නිර්මාණය වන්නේ මේ සම්ප්‍රදායෙන්ය. එහිද වර්ග පහක් ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසන්නේය. ගිනි කාවාඩි, මත්ස්‍ය කාවාඩි, කිරි කාවාඩි, භක්ති කාවාඩි හා පරවි කාවාඩි යනු ඒවාය. මේවායින් ඉතිරි වී ඇත්තේ භක්ති කාවාඩි ය. කූඩු කාවාඩි යැයි කියන්නේද එයටමය.

වර්තමානයේ පපරේ සංගීතය කාවාඩි නැටුවාට අතීතයේ කාවාඩි නර්තනයේ යෙදී ඇත්තේ තවිල් බෙරයටය. එය දෙමළ සම්ප්‍රදායානුකූල බෙර වර්ගයකි. ස්කන්ධ කුමරු වෙනුවෙන් අතීතයේ කතරගම කාවාඩි නර්තනයේ යෙදී ඇත්තේ කුලීනයන් පමණය. ඒ කියන්නේ ප්‍රභූන්ය. එයද ලේසි පහසු කාරියක් නොවන්නේ නර්තනයේ යෙදෙන්නට මත්තෙන් දෙවියන්ට භාර වෙන්නත් ඕනෑ නිසාය. වයස අවුරුදු පහළොවට අඩු දරුවන් සේම කාන්තාවන්ට එකල කාවාඩි නර්තනය අකැපය. දෙවියන්ට භාර ඔප්පු කරන්නට නැටූ කාවාඩි පෙරහරට එන්නේ පසුකාලයේදීය. කතරගම දෙවියන් වැඩ සිටින සෑම දේවාලයකම පෙරහරක කාවාඩි නර්තනය කෙරුණේය. ඒත් අද වන විට දකුණේ මිහිඳු පෙරහරවල පවා නූතන කාවාඩි කණ්ඩායම් ඕසෙටය. දෙවුන්දර දේවාලයට කාවාඩි එකතු වන්නේ දශක හතරකට පමණ ඉහතදීය. වර්තමානයේ නටන කාවාඩි ගැනද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොතගෙන් අසා දැනගැනීම වටී.


“ඒ කාලයේ කාවාඩි නර්තනයේ යෙදුණේ මෝලම් සංගීතයට. එය රිද්මය හරිම වෙනස්. නටන්න කැමැති මනෝභාවයක් හැදෙනවා. ඒ නිසායි පෙරහරේ කාවාඩිවලට ආකර්ෂණයක් ඇතිවුණේ. දෙවුන්දර දේවාලයේ අවුරුදු තිස් පහක විතර ඉඳලා රටාව වෙනස් වෙන්න ගත්තා. වෘත්තියෙන් ධීවර කටයුතුවල යෙදෙන උදවිය මෝලම් සංගීතය භාවිත කරගෙන දේව භාර ඔප්පු කරන්න පටන් ගත්තා. හැබැයි මේවා කාවාඩි නෙවෙයි. කාවාඩියේ පිළිවෙත් ගණනාවක් තියෙනවා. මෙතැන තියෙන්නේ නැටුම් පමණයි. සංස්කෘතියේ ස්වභාවය අලුත් දේවල් එකතු වීම. මම කිසිදු වැරැද්දක් දකින්නෙ නෑ. හැබැයි විකෘති දේවල් එකතු වෙනවා නම් එතැන වැරැද්දක් තියෙනවා. එයාලා අඳින සරම, පින්තූර කලාව ආවේ දෙමළ චිත්‍රපටවලින්..” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත කියන්නේය.වත්මනෙහි කාවාඩි නර්තනයය විකෘති වුණාට කතරගම දේවාලයේ කාවාඩි නර්තනය තවමත් ඇත්තේ පෙර පුරුදු විදියටමය. එදා සංස්කෘතිය අදටත් ආරක්ෂා වීමට හේතු හැටියට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පවසන්නේ පෙරහර මනාව සංවිධානය කර තිබීමය. වගකීම ඇත්තේ බස්නායක නිලමේ සහ පෙරහර භාරකරුවන්ටය. ඒත් කතරගම සේම දෙවිනුවරට අධිපති එක්කෙනාමය. ප්‍රශ්නය ඇත්තේ කොතැනද? පිළිතුර ඇත්තේ බස්නායක නිලමේ ළඟය. වැරැද්ද නිවැරැදි කළ යුතුවන්නේ කෙසේදැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත අපට පැහැදිලි කළේය.

“මේ අය පියවි සිහියෙන් නෙවෙයි නටන්නේ. සමහරු මත්පැන්, සමාජ විරෝධී මත්ද්‍රව්‍ය පවා පාවිච්චි කරල ඉන්නවා කියලා ජනමතයේ තියෙනවා. දෙවියන් අරමුණු කරගෙන භක්තිවන්තව කළ කලාවක් විකෘතිවෙලා. සංස්කෘතික අංග සමාජයට එකතුවෙනකොට ඒ අය ගැන කතා කරන්න ඕන. මොකද මේ ගැන සමාජ මතයක් නිර්මාණය වෙනවා. වැඩිහිටියන්ට, සමාජ විද්‍යාඥයන්, ජනශ්‍රැතිවේදීන්ට වගකීමක් තියෙනවා විකෘතියක් ප්‍රකෘතියක් හැටියට පෙරහරකට එකතු කිරීමේදී වන ආදීනව ගැන දැනුවත් කරන්න. එහෙම නැතුව බැනලා, රණ්ඩුවෙලා, නවතා දැමීම ඉතාමත් ප්‍රාථමික දෙයක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් එහෙම කරන්න එපා කියන්න පුළුවන්. වැරැදි දෙයක් සමාජගත වීම රටට අපකීර්තියක් වෙන්න පුළුවන්. පෙරහරට නොගැළපෙන දේවල් ගැළපෙන ආකාරයට සකස් කිරීමයි කළ යුතුවන්නේ. රටට, දේව සම්ප්‍රදායට කැළලක් වෙනවා නම් ඒක යහපත් දෙයක් නෙවෙයි..”


 

More News..