brand logo
logo
තෙල් ගැටලුව නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

තෙල් ගැටලුව නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

30 March 2026 | සුනිල් රූපසිංහ - පල්ලේපොල

තොග ගැනුම්කරුවන් හරි අඩක්ම එළවළු තොග මිලදී ගැනීමෙන් ඉවත්වීම නිසා දිනපතා අවම වශයෙන් එළවළු හා පලතුරු කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව ජාතික එළවළු වගා කරන්නන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ කියයි. 


රටපුරා දිනපතා ගනුදෙනු සිදු කෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 13 ට ගොවි පවුල් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදනය සපයන අතර ඊයේ (29 වැනිදා) දිනයේදී පමණක් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 20ක් පමණ මධ්‍යස්ථානවලට සැපයූ බව පැවැසීය.


ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් රටපුරා එළවළු තොග බෙදා හරින ලොරි රථ හිමියෝ සතියට වරක් හෝ දෙවරක් එළවළු මිලදී ගැනීමට පැමිණෙන බවත් අවම වශයෙන් සතියට දින 04ක් ඉන්ධන නොලැබීමෙන් ඉන් ඉවත්වී සිටින බව හෙතෙම පැවැසීය.


තරගකාරී මිල ගණන්වලට එළවළු මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන් නොපැමිණීමෙන් එළවළු තොග මිල කුණුකොල්ලෙට පහළ ගොස් ඇති බවත් ගොවීන් අවුරුදු සිහිනයක් වීම වැළැක්විය නොහැකි යැයිද සභාපතිවරයා පැවැසීය.


කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඉහළම තොග මිල රුපියල් 120/- අමු මිරිස් සඳහා ලැබී තිබේ. එළවළු ගණනාවක තොග මිල රුපියල් 30ත් 120 අතර පැවැතිණි. තක්කාලි කිලෝවක් රුපියල් 30-40ක්, මෑ කරල් රුපියල් 40-50ක්, බීට් රුපියල් 40ක්, ​ගෝව රුපියල් 40ක්, මාළු මිරිස් රුපියල් 100ක්, වම්බටු රුපියල් 80-100ක්, මල් ගෝවා රුපියල් 80-100 තොග මිලකට අ​ලෙවි වූ බව සභාපතිවරයා පැවැසීය.

 

More News..