brand logo
logo
NGO සදහා දැඩි නීති ගෙන ආ යුතු බවට යෝජනා

NGO සදහා දැඩි නීති ගෙන ආ යුතු බවට යෝජනා

19 August 2025 | චාමර පල්ලේගෙදර


ස්වේච්චා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනතට අනුව එම පනත උල්ලංඝනය කරන රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහි දඩ මුදල රුපියල් 250ක් වන බැවින් එම මුදල සංශෝධනය කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට යෝජනාවක් ලැබී ඇත.


රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුත්තක් යම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කළහොත් එම සංවිධානය අත්හිටුවීමටද පනතේ ප්‍රතිපාදන නොමැති බවට නිරීක්ෂණය වේ.


එම නිසා 1980 අංක 31 දරන එම පනතේ ප්‍රතිපාදන ශක්තිමත් නොවීම නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අත්තනෝමතික ලෙස කටයුතු කරන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


එමෙන්ම එම පනතට අනුව එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යම් සංවිධානයක් ලියාපදිංචියට පමණක් බලය හිමිවන අතර අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම සංවිධානය අත්හිටුවීමට බලයක් නොමැත.


එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ පමණක් නොව සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ පවා ලියාපදිංචිකළ හැකි අතර එය සංවිධාන නියාමන ක්‍රියාවලියට දැඩි බාධාවක් බව එම ලේකම් කාර්යාලයේ මතය වේ.


එම නිසා රාජ්‍ය නොවන සංවිධාන නිසියාකාරව නියාමනය කිරීමට නම් සිය ලේකම් කාර්යාලයේ පමණක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය සංශෝධන එම පනතට එක් කිරීමේ කාලය එළෙඹ ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

More News..