brand logo
logo
 ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

19 October 2026



ජාතික පාසල් සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු පුරවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැනනැගී ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ජේ.එස්.එස් එදිරිසූරිය මහතා පැවසුවේ, මෙම තනතුරු 23,600ක් සම්පූර්ණ කිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් එනම් අයදුම්කරුවන් 46,012ක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිය යුතු බවය.


නමුත් මූලිකව නිකුත් කළ ලේඛනයේ නම් 17,688ක් පමණක් අඩංගු වීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුවට නිල වශයෙන් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කරන බව ඒ මහතා පවසයි.


මෙහිදී අනාවරණය වී ඇත්තේ, මෙම 17,688ක අයදුම්කරුවන් පිරිස තුළ එක් අයෙකුට විෂයන් කිහිපයක් සඳහා මෙන්ම ජාතික හා පළාත් පාසල් වශයෙන් අවස්ථා හිමි වී ඇති බැවින්, එම සංඛ්‍යාව බැලූ බැල්මට අඩු බවක් පෙනුනද විෂයයන් අනුව අවශ්‍ය වන සම්මුඛ පරීක්ෂණ නියෝජනය සහ පුරප්පාඩු ආවරණය වන ආකාරය වෙනස් වන බවයි.


නිදසුනක් ලෙස, විෂයන් අටටම සමත් සීමිත පදමේ (රාජ්‍ය සේවයේ නියුතු) උපාධිධාරීන් 192ක් හරහා පමණක් පුරප්පාඩු 1536ක් ආවරණය වන අතර, ජාතික හා පළාත් මට්ටමින් අයදුම්කරුවන් විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලැබීම හේතුවෙන් සේවා ව්‍යවස්ථාව අපේක්ෂා කරන දෙගුණයේ නිරීක්ෂණය සපුරා ගැනීමට හැකි වී තිබේ.


කෙසේ වෙතත්, පළාත් අනුව විෂය සංකලන 41කට කිසිදු අයදුම්කරුවෙක් සුදුසුකම් ලබා නොමැති වීම සහ තවත් විෂය සංකලන 124කට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් නොමැති වීම නිසා යම් පුරප්පාඩු ප්‍රමාණයක් ඉතිරි වී ඇති අතර, මේ සියලු කරුණු සහ විෂය සංකලන එකතු වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය සඳහා නියමිත 46,018කට ආසන්න අයදුම්කරුවන් ප්‍රමාණයක් සුදුසුකම් ලබා ඇති බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.


 

More News..