brand logo
logo
 ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා

21 October 2026


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතින බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) දැනුම් දී ඇත.


ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.


එහිදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පැවසුවේ තමා සැකකාර සුරේෂ් සලේ පසුගියදා නිරීක්ෂණය කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට හොඳින් සලකන බව සැකකාර සලේ තමාට පැවසූ බවය.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්ථාවේදී , මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් මෙසේ ප්‍රශ්න කළේය.


" නඩුවේ තෙවන සැකකරු, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේව පසුගියදා මා නිරීක්ෂණය කළා. ඔහු පැවසුවා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා හොඳින් සලකනවා කියලා. ඔහු ආහාර වර්ග කිහිපයක් ඉල්ලුවා. ඒවා ලබාදීමට කටයුතු කළාද? "


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ එම ඉල්ලීම් ඉටුකළ බවය.


පසුව සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන විවෘත අධිකරණය හමුවේ මෙසේ පැවසීය.


" මගේ සේවාදායකයා වැලිසරට යවනවාට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැබීම හොඳයි ස්වාමිනි. ඒ වගේම මම අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට විශේෂයෙන් ස්තුති කරන්න කැමතියි මගේ සේවාදායකයා රෝහල්ගත කිරීමට අවශ්‍යයැයි කී මොහොතේම කඩිනමින් ඊට උපදෙස් ලබාදී අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන්. "


මෙහිදී සලේ මහතා පිළිබඳ කළ වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වාර්තාවක් ඉදිරිපත් කළේය.


" ස්වාමිනි, දින 121ක් රෝහල්ගතවෙලා හිටපු මේ සැකකරු දැන් හිටියාටත් වඩා හොඳින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඉන්නවා. අඩපණවෙලා තිබ්බ විමර්ශන දැන් කඩිනමින් පවත්වාගෙන යනවා. පසුගිය සතියේ අපි සුවිශේෂි සාක්ෂිකරුවන් පිරිසකගෙන් ප්‍රකාශ ගත්තා. ඒ අතර හිටියා යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු දුන් මිකෙල් සේවියර් විල්වරසිංහම් හෙවත් රාජන් නැමැත්තෙක්. ඔහු සම්බන්ධවෙලා තියෙන්නේ යුද්ධ හමුදාවේ කෝප්‍රල් සුරංග නැමැත්තා සමඟ. පාස්කු ඉරුදින බෝම්බ පුපුරුවාගත් ඉන්සාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය වන අලව්දීන් නැමැති ව්‍යාපාරිකයෙකු ගැන මම පෙරදින සඳහන් කළා. ඔහුගේ මිතුරෙක් වන තීපන් නැමැත්තාගේ නිවසක මොකද වෙන්නේ කියලා සොයා බලන්න යුද්ධ හමුදාව මේ කියන තොරතුරුකරු රාජන්ව යොමුකර තිබෙනවා. එදින තීපන්ගේ නිවසේ ඉඳලා තියෙනවා කළු බුර්කාවක් දාගත්තු කාන්තාවක් සහ වෙනත් පුරුෂයෙක්. ඔවුන් කතා කරලා තියෙන්නේ මඩකලපුව ප්‍රදේශයට හුරු දෙමළ බසකින්. මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු රාජන් සුරංගට වාර්තාකර තිබෙනවා. මේක වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට පෙර. ප්‍රහාරයෙන් පස්සේ රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්ති විකාශය වෙද්දි රාජන් හඳුනාගන්නවා එදා දැක්කේ සාරා ජෙස්මින්ව කියලා. ඔය සාරා ජෙස්මින් තමයි මුලින්ම මැරුණු බවත්, පස්සේ නැති බවත් කියවුණේ. කොහොමහරි මේ හඳුනාගැනීම රාජන් සුරංගට කිව්වාම සුරංග කියලා තියෙනවා ඕවා ඔළුවට ගන්න එපා නිහඬව ඉන්න. අමතක කරලා දාන්න කියලා. කොහොමහරි මේ තොරතුරු සියල්ල ජනගතවීම හා අනාවරණයවීම නවත්වා තියෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේගේ අනුදැනුම මත.


ඊළඟට ස්වාමිනි මේ වෙද්දි අනාවරණ වෙලා තියෙනවා මේ සලේ නැමැත්තා හිටපු එල් ටී ටී ඊ සාමාජික කරුණා අම්මාන්ව ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස්කර බ්‍රිතාන්‍යයට යැව්වා කියලා. කරුණා කියනවා යුද්ධ හමුදාවේ සලේ සහ අන්සාර් කියන අයයි මට මේ ගමන් බලපත්‍රය හදලා දුන්නේ කියලා. මේක හදලා තියෙන්නේ ස්වාමිනි පරිසර අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක් බව කියවුණු කෝකිල දුෂ්මන්ත නැමැත්තෙකුගේ නමට. හැබැයි ස්වාමිනි භෞතිකව එහෙම පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ඒ ගමන් බලපත්‍රයෙන් ගිහින් කරුණා අම්මාන්ව හසුවුනාට පස්සේ බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරගතව ඉඳලා යළි ලංකාවට එවලා තියෙනවා. ඒ වගේම මේ සැකකාර සලේට පාස්පොට් කිහිපයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වැඩිදුර විමර්ශන කරන්න අපි බලාපොරොත්තුවෙනවා."


මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පසුගියදා තීන්දුව ලබාදුන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ චූදිතයන් තිදෙනෙකුගෙන් බන්ධනාගාරගතව සිටියදී ප්‍රකාශ ලබාගැනීමට අවසර ඉල්ලා සිටියා.


" ස්වාමිනි පාස්කු ප්‍රහාරය පිළිබඳ මුඛ්‍ය නඩුව තමයි පසුගියදා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අවසන් වූ නඩුව. එහිදී තමන්ව වරදකරුවන් කර තිබියදීත් චූදිතයන් තිදෙනෙක් බයනැතුව විනිසුරු මඩුල්ල ඉදිරියේ කියනවා 'අපි හිරේ ගියාට, සත්‍ය වශයෙන්ම සම්බන්ධ පිරිස එළියේ ඉන්නවා කියලා' මේක ස්වාමිනි බරපතළ ප්‍රකාශයක්. ඒ අනුව මිල්හාන්, රිස්කාන් සහ සෙල්නුල් ආබ්දින් යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාදෙන්න."


අනතුරුව සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කළා.


" ස්වාමිනි මීට පෙරත් මම කියලා තියෙනවා. මේ නඩුවේ ප්‍රකාශ, ප්‍රකාශ, ප්‍රකාශ විතරමයි. කිසිම සාක්ෂියක් නැහැ. මගේ සේවාදායකයාට පාස්පෝට් කිහිපයක් තියෙනවා කියනවානම් ඒවායේ අංක මොනවාද? ලබාගත්තේ කොහොමද කියන්න ඕනේ. නැත්තම් මාධ්‍යයට යන්නේ සලේට පාස්පෝට් 02ක, 03ක් තිබ්බා කියලා. අනික ඔය කියන කරුණා අම්මාන්ට පාස්පෝට් හැදුවායි කියන කාලයේ මගේ සේවාදායකයා හිටියේ ප්‍රංශයේ. ප්‍රංශයේ ඉදලා කොහොමද ලංකාවේ පාස්පෝට් හදන්නේ."


මෙහිදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට මෙසේ ප්‍රශ්නයක් යොමුකළා.


" මේ නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා ඇති හිටපු ජනාධිපතිවරයෙක් මෝසමක් මගින් ඉල්ලීමක් කළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතවීමට එම විදෙස් ගමන් තහනම ඉවත්කරන්න කියලා. ඔහු දැනට මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ."


ඊට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ පිළිතුරු දුන්නා.


" ස්වාමිනි, එම මෝසමේ පිටපතක් නීතිඥවරයා මටත් යොමුකර තිබුණා. එහි සඳහන් වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමින් පසු විපරම් කිරීම් සහ ප්‍රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති 02ක් විදෙස්ගතවීමට අවශ්‍යයි කියලා. ඔහු දැනට සැකකරුවෙකු ලෙස නම්කර නොමැත්තේ ස්වාමිනි අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු විමර්ශන පැවතීම සහ හිටපු ජනාධිපතිවරයා ගොනුකළ නඩුවක් අභියාචනාධිකරණය හමුවේ පැවතීම නිසයි. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන මේ වෙද්දි ප්‍රබල තත්ත්යක තියෙනවා. එහෙත් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍යනම් මානුෂික හේතුන් මත ඊට ඉඩ ලබාදිය හැකියි. "


ඒ අනුව කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පැමිණිල්ල සිදුකරන ලද ඉල්ලීම්වලට අවසර ලබාදෙමින් විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව නොවැම්බර් 25 වනදා යළි කැඳවීමට නියෝග කළේය.


 

More News..