ත්‍රිරෝද පැදවීම අවුරුදු හතළිහට වැඩි නම් පමණයි
31 August 2026
ත්‍රිරෝද පැදවීම අවුරුදු හතළිහට වැඩි නම් පමණයි
31 August 2026
ත්‍රිරෝද පැදවීමේ අවසරය අවුරුදු හතළිහට වැඩි පුද්ගලයන්ට පමණක් ලබාදීම ගැන ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය දැන් රටේ කතාබහට ලක්වෙමින් තිබේ. එහෙත් මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගෙනෙනු ලැබූ අලුත් යෝජනාවක් නොවන බව නම් නොකියාම බැරිය. එය ජනතා විමුක්ති පෙරමුණ කොටස්කරුවකු වූ යහපාලන ආණ්ඩුව විසින්ද වරක් නොව දෙවරක්ම ඉදිරිපත් කරනු ලැබූවකි.
වෙනසක් ඇත්තේ නම් ඒ යෝජිත වයස් සීමාවේ පමණය. 2016 දී මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් හා පුරා කියා මේ යෝජනාව ඉදිරිපත් කරන විට කියවුණේ වයස අවුරුදු විසිපහට වැඩි තැනැත්තන්ට පමණක් ත්‍රිරෝද පැදවීමේ අවසරය ලබාදිය යුතු බවයි. 2018 දී එවකට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා දෙවැනි වරට මේ යෝජනාව ඉදිරිපත් කළේ අදාළ වයස් සීමාව අවුරුදු තිස්පහ දක්වා අවුරුදු දහයකින් වැඩි කරමිනි.
මේ අවස්ථා දෙකේදීම පෙන්වා දෙනු ලැබුවේ තරුණ ත්‍රිරෝද රථ රියදුරන් අතින් සිදුවන රිය අනතුරු වැඩි බැවින් මෙසේ වයස් සීමාව ඉහළ දැමිය යුතු බවය. ත්‍රිරෝද රියදුරන්ගේ වාහන පැදවීම මගීන්ගේ මෙන්ම අනෙකුත් රථවාහන රියදුරන්ගේද දැඩි දෝෂාරෝපණයට ලක්වූවක් බැවින් ඊට කිසිදු විරෝධයක් ඒ අවස්ථාවේ සමාජයෙන් පැන නැගුණේ නැත. එහෙත් 2018දී ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ කල්හි ඉන් ඉඳුරාම ප්‍රතික්ෂේප කෙරුණේය.
මෙහිදී ඒ කැබිනට් මණ්ඩලය නැතහොත් එවකට රටේ නායකයන් කල්පනා කළේ මගී ආරක්ෂාව ගැන නොවේ. ත්‍රිරෝද රියදුරන් විශාල පිරිසක රැකියා අහිමිවීමෙන් තමන්ට අහිමි වන ඡන්ද ප්‍රමාණය ගැනය. ඊළඟ ඡන්දය ගැන කල්පනා කරන දේශපාලනඥයන් මිස ඊළඟ පරම්පරාව ගැන කල්පනා කරන රාජ්‍යතාන්ත්‍රිකයන් අපට නැති බැවින් ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත.
ඉදිරියේදී වුවද මෙවැනි තීන්දුවක් ගැනීමට කිසිම ආණ්ඩුවක් නිර්භීත වේ යැයි සිතිය නොහැකිය. ඒ පෞද්ගලික බස්වලින් පටන්ගෙන ත්‍රිරෝද රථවලින් වර්ධනය වූ ලුම්පන් සංස්කෘතිය අපේ සමාජයේ යහපැවැත්මට හෙනහුරෙක් වී ඇති ආකාරය හොඳින්ම පෙනෙන්නට තිබියදීය. අනෙක් අතට අද අපට මේ කියන ලුම්පන් සමාජයේ සහයෝගය නැතිව ජීවත්විය නොහැකි තරමට කරුණු කාරණා වෙනස් වී තිබේ.
අද තමන්ගේ කියා වාහනයක් නැති ඕනෑම කෙනෙකුට ත්‍රිරෝද නැතිව ජීවත්වන්නට බැරිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ රටේ පොදු ප්‍රවාහණ සේවාවන්ගේ දුර්වලතාවයයි. එසේ සිදුවී තිබෙන්නේ රට දියුණු රටක් කරන්නේ යැයි හිස් බස් දොඩන කිසිම ආණ්ඩුවක් පොදු ප්‍රවාහණය දියුණු කිරීම ප්‍රමුඛතාවක් කොට සලකා නැති හා සලකන්නේ නැති තත්ත්වයක් යටතේය.
හැරත් වාහන පැදවීමට අවසර ලබාදෙන අනෙකුත් නීති හා සංසන්දනය කිරීමේදී මෙවැනි නීතියක් සම්මත කිරීම කොයිතරම් දුරට සුදුසුද යන්නද ප්‍රශ්නයකි. අවුරුදු හතළිහට වැඩි පුද්ගලයන්ට පමණක් ත්‍රිරෝද රථ පැදවීමට අවසර ලබාදීමට යෝජනා කෙරෙන්නේ සැහැල්ලු වාහන පැදවීමට වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ටද, බර වාහන පැදවීමට වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයන්ටද බලපත්‍ර ලබාගැනීමට හැකිව තිබියදීය. බර වාහන පැදවීමට බලපත්‍රයක් ඇත්තෙකුට මගීන් පනහක් හැටක් ගෙනයා හැකි බස් රථයක්ද ධාවනය කිරීමට අවසර ලැබෙන පසුබිමකය.
ඒ හැරුණු විට රිය අනතුරු වැඩියෙන්ම සිදුවන්නේ ත්‍රිරෝද රියදුරන් අතින් නොවන බවද කවුරුත් දන්නා කාරණයකි. එතනදී පළමුවැනි තැන සිටින්නේ මෝටර් බයිසිකල් ධාවකයන්ය. එසේ ගත් කළ ත්‍රිරෝද රියදුරන්ට පමණක් අමුතු නීතියක් පැනවීමද තර්කානුකූල නැත.
කෙසේ වුවත් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවර සිය යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මාර්ගාරක්ෂාව හා රිය අනතුරු වැළැක්වීම වැනි කාරණා පෙරදැරි කරගෙන නොවේ. ඔහුගේ අදහස වී ඇත්තේ කලවයස පිරුණු ගමන් ත්‍රිරෝද රථයක් පදවන්නට පාරට බැසීම වෙනුවට වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට තරුණ පිරිස් යොමු කළ යුතු බවය. වෘත්තීය පුහුණුව ලැබූවන් සියලු ක්ෂේත්‍රවල හිඟවී ඇති මේ කාලයේ ඒ අදහස වැදගත් බව අමුතුවෙන් කිවමනා නොවේ.
ඇත්තෙන්ම කිසියම් වෘත්තියක පුහුණුව ලැබූවෙකුට ඒ ක්ෂේත්‍රයේ විදේශ රැකියාවක යෙදීමෙන් ත්‍රිරෝද රථයක් පදවා ලබාගන්නවාට වඩා විශාල ආදායමක් ලබාගත හැකිය. ඒ අතරේ විදේශ රැකියා වෙළෙඳපොළට අපේ රටෙන් වෘත්තීය පුහුණුව ලැබූවන් සැපයීමෙන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද ඉහළ දමාගැනීමට පුළුවන. ඒ අර්ථයෙන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා වැඩි වැඩියෙන් ලබාදීම ඔවුන්ට මෙන්ම රටටද ප්‍රයෝජනවත්ය.
ඒ මේ කාරණා නිසා විනයක් නැතිව මහ පාරේ දුවන ත්‍රිරෝද රථ අමතක කර දැමීමටද නුපුළුවන. එහෙත් ත්‍රිරෝදවලට නීති ගෙන ආ යුත්තේ දැනට රැකියාවේ නියුතු පිරිස් පාරට ඇදදමන ආකාරයෙන් නොවේ. හෙට දවසේ පටන් ක්‍රියාත්මක වන පරිදිය.

