brand logo
logo
ගල්නෑව නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට

ගල්නෑව නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට

07 November 2026 | ප්‍රදීප්-කැකිරාව


ඊයේ (06) රාත්‍රියේ ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු බව කියන පුද්ගලයෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය සඳහන් කළේ, සැකකරු නිවසේ නාන කාමරයේ තිබූ කවුළුවකින් නිවස තුළට ඇතුළු වී, නිවසේ තිබූ ඇඳුම්ද ඇද දමා අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇති බවට සීසීටීවී දර්ශනවලින් නිරීක්ෂණය වූ බවයි. අනතුරුව ඔහු නිවසේ ඉදිරිපස දොර විවෘත කර පිටව ගොස් ඇති බවද පොලීසිය පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ ගල්නෑව පොලීසිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත්, නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද දිසාව I.B.J. සුගතපාල, තඹුත්තේගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත, ගල්නෑව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් මුනසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගල්නෑව පොලිස් අපරාධ අංශයේ සහ පොලිස් සුනඛ අංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන, ගල්නෑව ප්‍රදේශයේම පදිංචි මධුරංග රත්නායක නොහොත් "බංටි" නමැති අයෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.


ඔහු අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ බව කියන අපයෝජන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති බවත්, මීට පෙරද අපරාධ රැසකට සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇති අයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.


සැකකරු අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්නෑව පොලීසිය විසින් සිදු කරගෙන යනු ලැබේ.

 

More News..