brand logo
logo
වදුරව නිධානය ආණ්ඩුවේ වැඩක් නෙමෙයි - අධිකරණ නියෝගයක්

වදුරව නිධානය ආණ්ඩුවේ වැඩක් නෙමෙයි - අධිකරණ නියෝගයක්

24 November 2024

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති බව කියූ නිධානයක් සොයා කැණීම් කටයුතු 21 වැනිදා ආරම්භ කෙරිණ.


අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කැණීම් කටයුතු ආරම්භ වූයේ 21 වැනිදා පෙරවරුවේය.


නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම නිදන් හොරුන් විසින් මෙම ස්ථානය හාරා ඇති අතර ආරක්ෂක අංශ විසින් ඔවුන් එම හෑරීම් සඳහා භාවිත කළ උපකරණ සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. මෙම පිරිස අතර හිමිනමක් ද සිටි බව වේයන්ගොඩ පොලිසිය පවසයි.


වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථායේ නිධානයක් නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.


නමුත් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.


ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූ විද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් කැණීම් කටයුතු 21 වැනිදා ආරම්භ කෙරිණි.


කැණීම් කටයුතු තවමත් අවසන් වී නැත.


අරුණ පුවත්පතේ පසුගිය 22 වැනිදා පලවූ ඉහත සදහන් පුවත සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික මහතා මෙසේ පැවසුවේය. වදුරව ප්‍රදේශය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගය අසල කැණීම් කටයුතු සිදුකළේ ආණ්ඩුවේ උවමනාවට හෝ එහි මෙහෙයුම් අවශතාවකට නොවේ. එය අධිකරණ නියෝගයකට අනුව සිදුකෙරුණක්.


ආණ්ඩුව නිධන් සොයා කළ මෙහෙයුමක් කීම සපුරා වැරදි වැටහීමක් ජනතාව තුළ ඇතිකරන බැවින් ඒ පුවතේ හෙඩිම කැණීම් කරන්නේ අධිකරණ නියෝග අනුව ය යනුවෙන් සඳහන් විය යුතුයි.

 

More News..