උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය අද වැඩවැරුමක
20 November 2026 | අනීෂා මානගේ
උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය අද වැඩවැරුමක
20 November 2026 | අනීෂා මානගේ
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) කථිකාචාර්යවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ස්ථීර වැටුපට අමතරව දීමනාවක් ගෙවන බවට පොරොන්දු වුවද මෙවර අයවැයෙන් හෝ කිසිදු දීමනාවක් ලබානොදීමට විරෝධය දක්වමින් එම ආයතනයේ ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (20 වැනිදා) සිට සංකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිටුවා ඇති අතර දිවයින පුරා ආයතන 19කින් එය සමන්විතය. වාර්ෂිකව උසස් පෙළ සමත් සිසුන් දසදහසක් පමණ එම ආයතනයේ අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා අතර එහි ස්ථිර කථිකාචාර්යවරුන් 210ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 600ක් පමණ සේවය කරන බව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සමග සැසඳීමේදී මූලික වැටුපට අමතරව කිසිදු දීමනාවක් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට නොලැබීම හේතුවෙන් වර්තමානය වන විට සේවකයන් රඳවා ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින බව එම සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අගමැතිනිය සමග ඉකුත් අප්‍රේල් මාසයේදී සාකච්ඡාවක් පැවැත්වූ බවත් සේවක ඉල්ලීම සාධාරණවීම හේතුවෙන් එයට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු වූ බවත් පෙන්වාදෙන මෙම සංගමය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකදී ද සාධනීය පියවරක් ගන්නා බවට පොරොන්දු වූ බව ද සඳහන් කළේය.
එහෙත් මෙවර අයවැයේදී ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයට දීමනා ලබාදීමට පියවරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන ආචාර්යවරුන්ගේ සංගමය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව සංකේතාත්මක වැඩ වර්ජනයක් දිවයින පුරා ආරම්භ කරන බවත් ඔවුහු සඳහන් කළහ.


