brand logo
logo
ඌරුවරිගේ වන්නිලැත්තෝ දඹානේදී හරක් හොරු අල්ලයි

ඌරුවරිගේ වන්නිලැත්තෝ දඹානේදී හරක් හොරු අල්ලයි

29 July 2026

රංජිත් කරුණාවීර - මහියංගණසොරකම් කරන ලද ගවයන් පස් දෙනෙකු ප්‍රවාහනය කළ ලොරියක් සමගින් පුද්ගලයන් තිදෙනකු ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ හා දඹාන ආදිවාසීන් පිරිසක් එක්ව අල්ලාගෙන මහියංගණය පොලිසිය වෙත භාරදී ඇත.


දඹාන ආදිවාසී ගම්මානය හා ඒ අවට නිරන්තර සිදුවෙන ගව සොරකම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හා දඹාන ගුරුකුඹුර ආදිවාසී බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමි ඇතුළු පිරිස ගව සොරුන් කොටු කරගැනීමට යෙදූ සැලසුමකට අනුව මෙම සැකකරුවන් අල්ලාගෙන තිබේ.


සැකකරුවන් පිරිස මහියංගණය පොලිසිය වෙත භාරදීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගවයන් පස් දෙනාගෙන් සිවු දෙනෙකු මහඔය ප්‍රදේශයෙන් සොරකම් කර තිබෙන බවද අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ගවයන්ගේ හිමිකරුවන් මහඔය පොලිසියට පැමිණිලිද කර ඇත.


සැකකරුවන් කොටුවී ඇත්තේ දඹාන ප්‍රදේශයේ ගවයකු සොරකම් කර ලොරියට පැටවීමට උත්සහා දැරීමේදී බවද පොලිසිය පවසයි.


සැකකරුවන් මහියංගණය පගරගම්මන මුස්ලිම් ගම්මානයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් එම් සිසිර බණ්ඩාර හේරත් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

More News..