brand logo
logo
ටැටූ ගැහුවොත් හිරේ යනවද?

ටැටූ ගැහුවොත් හිරේ යනවද?

24 October 2026 | අනීෂා මානගේ

පුහුල් හොරා කවුදැයි කරෙන් දැනගන්නට හැකි වුණාට එකල ගම්තුළානේ මදාවි වැඩ කළ උදවිය හඳුනාගත්තේ කරෙන් නොවේ. අතෙනි. ඒ මන්ද යත් මදාවි වැඩ කළ විට අම්මා මතක් වෙන අපූරු ක්‍රමයක් උන් ලකලැහැස්ති කරගෙන සිටි නිසාය. අතෙහි වැළමිටට පහළින් “අම්මා බුදු වේවා!” යැයි කොටාගෙන සිටි පච්චය උන්ගේ ගැන්සියේ සලකුණ විය. අම්මාට බුදු බව නොපැතූ උදවිය අතෙහි කොටාගෙන සිටියේ කිණිස්සක් ය. මේ පච්චා සලකුණු දුටු සැණින් උන් නාහෙට අහන්නේ නැති උදවිය යැයි හඳුනාගන්නට ආරච්චි උන්නැහේලාට අසීරු නොවීය. මදාවි වැඩ කළ අය කෙසේ වෙතත් 88/89 භීෂණ සමයේ රජයට එරෙහිව අවි අතට ගත් ජවිපෙ සාමාජිකයන් අල්ලන්නට අලුත් ක්‍රම සොයන්නට පොලිසියට වුණේය. පොලිසියෙන් ගැලවී ඉන්නට චීවරය පොරවාගත් උදවිය හඳුනාගන්නට පොලිසිය අපූරු ක්‍රමයක් අනුගමනය කළේය. ඒ, පොරවාගෙන සිටි චීවරය ගලවන්නැයි කියා නැවත ඇඳගන්නට සැලැස්වීමය. චීවරයට නිගරු කළ උදවිය පොලිසියේ ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වූහ. එතැනින් එහාට ඒ උදවියට වූ සන්තෑසිය ගැන කතා කරන්න මේ නොතැනය.


එකල හැන්දෑවට ගමේ බෝක්කුව උඩ වාඩි වී වූ උදවිය පොලිස් ජීප් රියක් දුටු සැණින් ගාල කඩාගෙන දුවන ගව පට්ටියකට පරාදය. ඒ මන්ද යත් අඳුර වැටීගෙන එන ජාමයේදී බෝක්කුව මත හිඳගෙන සිටින අයට අපරාධකාරයන් සහ රස්තියාදුකාරයන්ගේ ලේබලය ඇලවී තිබූ නිසාය. පොලිසිය උන් කුදලාගෙන ගොස් කූඩුවේ දැම්මේය. පොලිස් ජීප් රිය ඈතින් එන බව දුටු සැණින් බෝක්කුව පාළුවට යන්නේ ඒ නිසාය.

අපරාධකරුවන් අල්ලාගන්නට එකල යෙදූ පොලිස් උප්පරවැට්ටි දැන් යල් පැන ගොසින්ය. අපරාධකරුවන්ද අලුත් තාලයට අපරාධ කරන්නට හැඩ ගැහිලාය. උන්ගේ සනුහරේ අල්ලන පොලිසියේ උප්පරවැට්ටිවලට අලුත් පණක් දෙන්නට ආණ්ඩුව මේ දිනවල ලක ලැහැස්ති වෙමින් සිටින්නේය. ඒ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත කරළියට ගෙනැවිත්ය. එම පනතට අදාළ පනත් කෙටුම්පත දෙතුන් දවසකට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට අපේ රටේ බොහෝ උදවියගේ ඉහ මොළ රත් වුණේය. සංවිධානාත්මක අපරාධ ගැන හාන්කවිසියක්වත් නොදන්නා අහිංසකයන්ටත් මේ පනතෙන් කල්දේරම් බත් කන්නට වේවි යැයි ඇතැමුන් කියන නිසාය. එයට මුලසුන දැරුවේ නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය. ඔහු කීවේ පොලිසිය විසින් නුසුදුසු යැයි කියන පච්චා, කොණ්ඩා මෝස්තර තිබීම හේතුවෙන් මිනිසුන් අත්අඩංගුවට ගෙන බොහෝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවය. යම් අයකුගේ පච්ච හෝ ඇඳුම් පැලඳුම් මත පදනම්ව එම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බවට නිගමනයකට එළැඹෙන්නට ඉඩ සැලසෙන බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියන්නේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියූ කතාව ඇසූ රට්ටුන්ට හීන් දාඩිය දැම්මේය. “අහක යන ප්‍රශ්නයකට අපිත් පැටලෙයිද?” රට්ටු ප්‍රශ්න කළහ. ඒ මන්ද යත් දැන් පච්චය පොෂ් වී ටැටූ නැත්තේ එහෙමත් එකෙක් ළඟ විතරක් නිසාය. සලකුණු, වදන්, රූප ආදී මෙකී නොකී ඒවායෙන් ඇතැමුන්ගේ සරුවාංගෙම වැහිලාය. කොටින්ම කියනවා නම් ජනාධිපතිවරුන්ගේ රුව පවා සමහර උදවිය පච්චයකට හරවා ගත්තේය.

ඉස්කෝලෙන් පිටමං වෙන බොහෝමයක් නව යෞවනයන්ගේ ඊළඟ නැවතුම ටැටූ මධ්‍යස්ථානයක් වී ඇත්තේය. දැන් උන් පච්චා කොටාගන්නේ ගැහැනු පිරිමි භේදයක් නැතුවය. මෙකල පච්චයක් නොගැසූ අයකු සෙවීම කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සෙවීමටත් වඩා අසීරුය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන රට්ටු අතර උභතෝකෝටිකයක් ගොඩ නැගුණේ පච්චයකට අපේ රටේ ඒ තරම් ඉල්ලුමක් ඇති නිසාය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ පැටලී උන් රට්ටු ඉන් ගලවා ගන්නට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර රට හදන තැනදි මුල පිරුවේය. ඔහු කීවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ අර්ථය ඇතැමුන් විකෘති කර ඇති බවය.

“පාතාල හෝ අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් විය හැකි කරුණු දොළහක් ගැන පනතේ තියෙනවා. මෙය බලපාන්නේ තනි තනි පුද්ගලයන්ට නෙවෙයි. සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් කියල පනතේ සඳහන් වෙනවා. ඒ අයටයි පනත බලපාන්නේ. කොණ්ඩෙ වැව්වොත්, පච්චයක් කෙටුවොත් අපරාධයක්, ඇඳුමක් ඇන්දොත් අල්ලගෙන යන්න පුළුවන් කියන කතාව සම්පූර්ණ අසත්‍ය නොමග යවන සුලු එකක්.” ඇමැතිවරයා කීවේ එහෙමය.

සංවිධානාත්මක අපරාධ කල්ලි පච්ච සහ ඇඳුම් විලාසිතා යොදා ගන්නේ ඒවාට ඇති කැමැත්ත නිසාම නොවේ. උන්ගේ කල්ලියේ අනන්‍යතාව සහ සංස්කෘතිය පෙන්වන ලක්ෂණයක් හැටියටය. අපේ රටේ මෙවැනි පච්ච ගැන එතරම් කතා නොවුණද විදෙස් රටවල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විවිධාකාරයේ පච්ච, සංඥා සහ ඇඳුම් විලාසිතා භාවිත කරන්නේය. එල්සැල්වදෝරයේ එම්එස්-13 නමැති සංවිධානාත්මක අපරාධ කල්ලිය, ජපානයේ යකූසා අපරාධ කණ්ඩායම, එක්සත් ජනපදයේ බන්ධනාගාරයකින් ඇරඹුණු මෙක්සිකන් මාෆියා කණ්ඩායම, කැලිෆෝනියාවේ ආර්යන් බ්‍රදර්හුඩ් යැයි කියන්නේ පච්චා සලකුණු භාවිත කරන එවැනි කණ්ඩායම්ය. ඒ ඒ කණ්ඩායම්වලට ඔවුන්ටම ආවේණික වූ පච්ච සලකුණු ඇත්තේය.

මේ ගැනද ඇමැති හර්ෂණ නානායක්කාර මැතිසභයේදී කීවේය. “අපේ රටේ සුලභ නොවුණත් ජපානය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුවේ පවා යම් සංවිධාන ඉන්නවා. ඔවුන් හස්ත මුද්‍රා, ටැටූ, තමන්ගේ තත්ත්වය පිළිබිඹු කරන්න පාවිච්චි කරනවා. යම් පුද්ගලයෙක් එවැනි කණ්ඩායමකට සම්බන්ධද කියලා බලන්න අන්තර්ජාතික විමර්ශකයෝ ටැටූ, ඇඳුම් පැලඳුම් බලනවා.” ඇමැති හර්ෂණ කියන්නේය.

මේ ගැන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ සඳහන් වන්නේ මෙසේය. “සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්‍රා, භාෂාව හෝ පච්ච සටහන් ඒ තැනැත්තා විසින් භාවිත කරන්නේද යන්න..,” යනුවෙනි.

පනතේ එහෙම සඳහන් වුණාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන්නට වෙන ගැටලුවක් ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රශ්න කරන්නේය. ඒ, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිත කරන පච්ච සටහන්, හස්ත මුද්‍රා, ඇඳුම් විලාසිතා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් භාවිත කරන බවට මුලින් තීරණය කරන්නේ කවුදැයි යන්න ගැනය. ගැටලුව ඇත්තේ එතැනය. ඒ මන්ද යත් මේවා තීරණය කරන්නේ අපේ රටේ පොලිසියවීම නිසාය.

කුමක් හෝ සලකුණක් හෝ ලාංඡනයක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් භාවිත කරන එකක් යැයි පොලිසිය තීරණය කළේ නම් අහිංසකයකුට වුවද මහා ජරමරයක පැටලෙන්නට සිද්ධ වෙන්නේය. ඊට හේතුව ශ්‍රී ලංකා පොලිසිය ගොරකා දඩමස් කිරීමට කප් ගසා ඇති නිසාය. හැරත් සංවිධානාත්මක අපරාධකරුවන් භාවිත කරන සලකුණු, සංඥා කුමක්දැයි අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැත. ටැටූ ශිල්පීන්ද දන්නේ නැත. අඩුම තරමේ පොලිසියවත් ඒ ගැන හරිහැටි නොදන්නවාට සැක නැත. සාමාන්‍ය උදවියට අවදානමක් ඇතැයි කියන්නේ ඒ නිසාය. එයට හේතුව සංවිධානාත්මක අපරාධ පනතෙන් පොලිසියට මහා විශාල බලතල අටෝරාසියක් පැවරී ඇති නිසාය. මේ ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් අසා දැන ගැනීම වටිනේය. අප ඔහුගෙන් මේ ගැන විමසුවේ ඒ නිසාය.

“යම්කිසි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක අය පාවිච්චි කරන පච්ච කෙටීම්, විලාසිතා භාවිත කළොත් මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් කියලා නිගමනයකට එන්න පුළුවන්. මේ දේවල් අධිකරණයට එන්න කලින් අත්අඩංගුවට ගන්නෙ පොලිසියෙන්. මේ ටැටූ එක අපරාධ කණ්ඩායමක කියලා සමහර නිලධාරින් නිගමනයකට එළැඹුණොත් එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට අවදානමක් තියෙනවා. ඒකයි ගැටලුව.....”

ඇමැති හර්ෂණ කියන හැටියට මේ පනත ගෙනැවිත් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් හඳුනාගන්නටය. එහෙත් එවැනි සාමාජිකයන් අපේ රටේ සිටින්නේදැයි පැන නගින්නේ ඊළඟ ගැටලුව ය. එවැන්නන් සිටියද ඔවුන් එකිනෙකට සලකුණක් හෝ ලාංඡනයක් හැටියට පච්චයක් භාවිත කළ විත්තිය හෝ අප මෙතෙක් කලකට අසා නැත. කොටින්ම කියනවා නම් පච්ච සලකුණක් කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්නට හෝ සලකුණක් තැබූ බව අප අසා ඇත්තේ ඉඳහිටය. එවන් සලකුණකින් අපේ රටේ වූ අපරාධයකට සංවිධානාත්මක අපරාධකරුවකුගේ නමක් ගෑවුණේය. ඒ, විදෙස් රටක සැඟවී සිටින කංජිපානි ඉම්රාන්ගේ නමය. ඔහුගේ නම ගෑවුණේ ක්ලබ් වසන්ත ඝාතනයේදීය. ඒ, ඝාතන ස්ථානයෙන් හමුවූ කේ.පී.අයි. අකුරු තුන සඳහන් පතුරොම් කොපුවක් නිසාය. එයද සැබෑවටම කංජිපානිගේ යැයි තහවුරු වූයේ නැත.

එසේ නම් පච්චා සලකුණු ඇති සංවිධානාත්මක අපරාධකරුවන් අල්ලන්ගේ කෙසේද? මේ ගැන අප විමසන්නට සිතුවේ වසර තිහකට අධික කාලයක් තිස්සේ අපරාධ විමර්ශනය කෙරෙහි මනා පළපුරුද්දක් ඇති අපරාධ දිශාව භාරවද රාජකාරි කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙනි. ඔහු අපට පැහැදිලි කළේ මෙසේය.

“ජපානයේ ඉන්න සංවිධානාත්මක අපරාධකරුවන් එයාලගේ කණ්ඩායම හඳුනාගන්න විශේෂ ටැටූ එකක් පාවිච්චි කරනවා. ඒවා විශාල ප්‍රමාණයේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්. ඒ රටවල් පවා ලොකුයි. හැබැයි අපේ රටේ තියෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම වටා ගෙතුණු කල්ලි අපරාධ. ඒවාට සංවිධානාත්මක අපරාධ කියනවාටවත් මම කැමැති නැහැ. සංවිධානාත්මක අපරාධ මේ කලාපෙන්ම තිබුණෙ ඉන්දියාවේ. සංවිධානාත්මක අපරාධ තියෙන රටවල හදපු පනතක් එහෙම පිටින්ම මෙහෙට ගෙනත්. ඒක අපේ රටට ගැළපෙනවද කියන කාරණයේ ගැටලුවක් තියෙනවා”

"අපේ රටේ අපරාධකරුවන් ඔය කියන විදියේ පච්චා සලකුණු භාවිත කරනවාදැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ඇසුවේ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නට අලුත් පනතෙන් හැකිදැයි දැනගත යුතුව ඇති නිසාය.

"ලංකාවේ අපරාධකරුවන් ගැන මම තරම් කිසිම කෙනකුට අත්දැකීමක් නැහැ. ඒ කිසිම තැනක අද වෙනකල් කිසිම ටැටූ එකක් හම්බවෙලා නැහැ. එහෙම බැලුවාම මේ ටැටූ ගැන කියන කතාවෙන් ලංකාවට ඇති වැඩක් නැහැ. අපි හිතමු දහ දෙනෙක් අම්මා බුදුවේවා කියලා ටැටූ එකක් ගහනවා කියලා. එතකොට ඒ අම්මා බුදුවේවා ගෘෘප් ද....?" හෙතෙම ප්‍රශ්න කරන්නේය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලුවක් ගැනද හෙතෙම අපට කීවේය. ඒ, නීතිය අර්ථදක්වන්නේ කවුද යන්න ගැනය. අපරාධකරුවන්ගේ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නට නම් ඒ ඒ සංවිධානාත්මක අපරාධකරුවාගේ කල්ලියේ පච්ච සලකුණු වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබෙන්නට වුවමනාය. එහෙත් එවන් හඳුනාගැනීමක් ගැන කිසිදු සඳහනක් තවමත් නැත.

"මේවා අර්ථ නිරූපණය කරන්නෙ කවුද? මේ අපරාධකාරයාගේ මේ ටැටූ එක. නීතිය අර්ථ දක්වන්නෙ කවුද. ඒකයි මම මුල ඉඳලම කිව්වෙ මේක බහුබූතයක් කියලා. ඔළුව ජර්මන්, ඇඟ ඉතාලි වගේ දෙයක් මේ. කවුරුහරි පනතක් හැදුවාම ඒක ගෙඩිය පිටින් ගෙනත් මෙහේ ගහන්න හදනවා....."

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියන හැටියට අලුතින් ගෙනා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතෙන් අධිකරණය, පොලිසිය සහ රටේ සාමාන්‍ය ජනතාව යන සියල්ලටම ගැටලුවලට මුහුණ දෙන්නට වෙන්නේය. ඔහු මේ පනත අර්ථ දක්වන්නේ පය බරවාට පිටිකර බෙහෙත් බඳින්නාක් වැනි දෙයක් ලෙසය.

පච්චා සලකුණුවලින් සංවිධානාත්මක අපරාධකරුවන් අල්ලා ගැනීමේ උපක්‍රමය අපේ රටට ගැටලුවක් වුණාට බොහෝ විදෙස් රටවල සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පච්චා සලකුණු භාවිත කරන බව සැබෑය. එක්සත් ජනපද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හඳුනාගන්නටද පච්ච සලකුණු, ඇඳුම්, අත් සලකුණු ආදිය යොදාගන්නා බව එරට අපරාධ කල්ලි වැළැක්වීමේ පනතේ 874 වැනි පරිච්ඡේදයේ සඳහන්ව ඇත්තේය.

ඇතැම් රටවල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිත කරන පච්ච සටහන් සලකුණු කිරීම වැළැක්වීමට පච්ච කර්මාන්තය නියාමනය කර ඇත්තේය. නියාමනය කර ඇති පච්ච සටහන් සාමාන්‍ය ජනතාවටද දැනගැනීමට ඒවා ලැයිස්තුගත කර ඇත්තේය. ඒ බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියේ වෙබ් පිටුවෙහි අන්තර්ගතව ඇත්තේය. ඒත් මෙරට පොලිස් පිටුවේ තවමත් ඒ ගැන කිසිදු සඳහනක් නැත්තේය.

පච්ච සලකුණක් තිබීම හෝ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අදාළ යම් කාරණාවකට යමෙක් අත්අඩංගුවට ගත් පසුවද විසඳාගන්නට අටෝරාසියක් ප්‍රශ්න ඉතිරි වන්නේය. ඒ ගැන අපට කීවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය.

“යම් පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තාම මුලින්ම පැය හැත්තෑ දෙකක් රඳවා තබාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙ අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හෝ ආරක්ෂක ලේකම්වරයාගෙන් රැඳවුම් නියෝග ගන්න පුළුවන්. ඒ රැඳවුම් නියෝගයෙන් අදාළ පුද්ගලයා මාස දෙකක් දක්වා පොලිස් ස්ථානයේ රඳවා ගන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දක් දක්වා රැඳවුම් නියෝග ගන්න පුළුවන්...” සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ බරපතළකම ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැහැදිලි කළේය.

අපේ රටේ සාමාන්‍ය නීතියට අනුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක් පොලිසියේ රඳවා ගන්නට අවසර ඇත්තේ පැය විසිහතරක කාලයක් පමණය. මිනීමැරුමක් වුවද නීතිය එයය. පැය විසිහතරක් ඉක්ම යන්නට පෙර සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන්නට ඕනෑය. මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව වුවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් භාරයේ රඳවා ගන්නට අවසර ලැබෙන්නේ සතියක කාලයක් පමණය. බරපතළ ලිංගික අපරාධයකට නම් දවස් තුනක් ය. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද එසේත් නැත්නම් පොලිසියේ ඉල්ලීම පරිදි රඳවා ප්‍රශ්න කරන්නට අවසර දෙන්නේ අධිකරණය ය. ඒත් සංවිධානාත්මක අපරාධ පනතට අනුව මාස දෙකක් වුවද අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගෙන ඉන්නට පොලිසියට අවසර ලැබෙන්නේය.

“පනතට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කළාට පසු ඇප ගන්න පුළුවන්ද?” මම ඇසුවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙනි.

“මේ පනතේ වැරැදිවලට අදාළව සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කළොත් මහෙස්ත්‍රාත්වරයා අනිවාර්යයෙන් ඒ පුද්ගලයාව රිමාන්ඩ් කරන්න ඕන. ඇප ගන්න පුළුවන් වෙන්නේ මහාධිකරණයෙන්. එතකොට ඒ පුද්ගලයාගේ පවුලේ අය වෙනම ඇප ඉල්ලීමක් මහාධිකරණයේ ගොනු කරන්න ඕන. එයට සති කිහිපයක් හෝ මාස කිහිපයක් කල්ගත වෙනවා. ඒ කියන්නේ කාල සීමාව වැඩිවෙනවා.” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැහැදිලි කළේය.

අපේ රටේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නට පනතක් ගෙනාවාට බලපැවැත්වෙන්නේ බරපතළ ගණයේ අපරාධවලට පමණක් නොවේ.

එතරම් බරපතළ නොවන කාරණාවලටත් මෙම පනත යොදාගන්නට හැකිවන්නේය. වෙළෙඳ ලකුණක් පිටපත් කිරීම ආදී බුද්ධිමය දේපළ ගැටලුවකට තිදෙනකු හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ වූයේ නම් එම පුද්ගලයන්ද මෙම පනතට අදාළව අත්අඩංගුවට ගත හැකි බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියන්නේය. එම පුද්ගලයන් රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවාගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුවත් මහාධිකරණයෙන් ඇප ගැනීමට වීම අසාධාරණ අයුරින් සැකකරුවන් රඳවා ගැනීමට ඉඩ සැලැස්වීමක් බව හෙතෙම කියන්නේය. එවැනි අවස්ථාහිදී නීතිය අවභාවිත කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. සාවද්‍ය කාරණයක් මුල්කරගෙන තමන්ගේ විරුද්ධවාදීන්ව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරවීමට වුවද එමගින් හැකිවන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියන්නේය. එය නීතිය අවභාවිත කිරීමක් යැයි කීවද වැරැදි නැත.

 

More News..