brand logo
logo
නියගයෙන් හානියට පත් වගාවන්ට වන්දි ගෙවීමට රු.මි. 3,000ක් වෙන් කෙරේ

නියගයෙන් හානියට පත් වගාවන්ට වන්දි ගෙවීමට රු.මි. 3,000ක් වෙන් කෙරේ

25 August 2026

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීම පිණිස රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර තිබේ. 


පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන වියළි කාලගුණය නිසා මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි වී, බඩඉරිඟු ඇතුළු වගාවන්ට දැඩි ලෙස හානි සිදුව ඇත.


මේ වන විට වාර්තා වී ඇති දත්තයන්ට අනුව, බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කයන්හි ගොවීන් 7,000කට ආසන්න සංඛ්‍යාවකට අයත් ගොවිබිම් අක්කර 8,000ක් පමණ හානියට පත්ව තිබේ.


මෙහිදී වී වගාවට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1,923ක්, මොණරාගලින් අක්කර 1,401ක්, පොළොන්නරුවෙන් අක්කර 1,259ක්, අම්පාරෙන් අක්කර 1,055ක් සහ හම්බන්තොටින් අක්කර 783ක් ලෙස හානි සිදුව තිබේ. 


කෙසේවෙතත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනම් කර ඇත.


මේ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් දැනටමත් බලපෑමට ලක්ව ඇති වගාබිම් වෙත ගොස් පරීක්ෂණ පවත්වමින් සිටින බවද සඳහන්.


මෙම සහන වැඩසටහන යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග 06 සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක් බැගින්, එක් ගොවියෙකු වෙනුවෙන් උපරිම වශයෙන් අක්කර 05ක් දක්වා වන්දි ගෙවීමට පියවර ගැනේ.


මෙතෙක් වගා හානි දැනුම් දී නොමැති ගොවීන් සිටී නම්, වහාම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි සටහන් තබන ලෙස හෝ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි ඇමතුම් අංකය ඇමතිය හැකියි.

 

More News..