රන් මිල පහළට
25 November 2026
රන් මිල පහළට
25 November 2026
අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම හමුවේ අද (25) දිනයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල පහත වැටී තිබේ.
අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණය පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා, අද පස්වරුවේ නිකුත් වීමට නියමිත අමෙරිකාවේ ප්‍රධාන උද්ධමන දත්ත කෙරෙහි ආයෝජකයින් දැඩි අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අද පෙරවරුව වන විට රන් අවුන්සයක (Spot gold) මිල 1% කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 3,519.94 ක් ලෙස සටහන් වූ අතර, පසුගිය සිකුරාදා දිනයේදී රන් මිල මාස 14 කින් වාර්තා වූ අවම අගය දක්වා පහත වැටී තිබුණි. දෙසැම්බර් මාසයේ බෙදාහැරීම් සඳහා වන අමෙරිකානු රන් අනාගත ගිවිසුම් මිල ද 1.2% කින් පහළ ගොස් ඩොලර් 3,519.00 ක් ලෙස වාර්තා විය.
කොටස් වෙළෙඳපොළේ ඇති වූ පසුබෑම හේතුවෙන් ආයෝජකයින්ට මුදල් අවශ්‍ය වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ANZ විශ්ලේෂක සෝනි කුමාරි පවසයි. ඊට අමතරව ඩොලරය ශක්තිමත් වීම රන් මිලට ප්‍රබල බාධාවක් වී ඇති බව ඇය සඳහන් කළාය.
ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව ඩොලරයේ අගය මනින දර්ශකය 0.2% කින් ඉහළ යාම නිසා, වෙනත් මුදල් ඒකක භාවිත කරන ගැනුම්කරුවන්ට රන් මිලදී ගැනීම වඩාත් මිල අධික වී තිබේ.
මේ අතර, නව අමෙරිකානු තීරුබදු තර්ජන හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද අද පසුබෑමකට ලක්විය.
අමෙරිකානු මහ බැංකුව සිය 2% උද්ධමන ඉලක්කය වෙනුවෙන් සමීපව නිරීක්ෂණය කරන පුද්ගලික පරිභෝජන වියදම් (PCE) දර්ශකය අද ග්‍රිනිච් වේලාවෙන් 1330 ට නිකුත් කිරීමට නියමිතය. දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ෆෙඩරල් සංචිත ප්‍රතිපත්ති රැස්වීමේදී පොලී අනුපාත පදනම් අංක 25 කින් ඉහළ නංවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
පසුගියදා පැවති මධ්‍යවාර මැතිවරණයෙන් පසු ශ්‍රම වෙළෙඳපොළ සහ සමස්ත ආර්ථිකය පිළිබඳ ඇති වූ සුබවාදී ආකල්ප මත, නොවැම්බර් මාසයේදී අමෙරිකානු පාරිභෝගික විශ්වාසය වසර දෙකකට ආසන්න කාලයකින් ඉහළම අගයට පැමිණ තිබේ.
රන් මිලෙහි පවතින මෙම පීඩනය අවසානයේ පහව යනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, 2027 වසරේ මුල් භාගය වන තෙක් එහි යථා තත්ත්වයට පත්වීම මන්දගාමී විය හැකි බව OCBC බැංකු විශ්ලේෂකයින් සඳහන් කරයි.
අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ද අද පහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක් 1.1% කින් පහළ ගොස් ඩොලර් 40.41 ක් ලෙසත්, ප්ලැටිනම් 1.2% කින් පහළ ගොස් ඩොලර් 1,260.32 ක් ලෙසත්, පැලේඩියම් 0.4% කින් පහළ ගොස් ඩොලර් 850.45 ක් ලෙසත් සටහන් විය.


