brand logo
logo
ඩෙංගු තුරන් කිරීමට රජයෙන් වසර දෙකක ඉලක්කගත වැඩපිළිවෙළක්

ඩෙංගු තුරන් කිරීමට රජයෙන් වසර දෙකක ඉලක්කගත වැඩපිළිවෙළක්

05 August 2026

ඉදිරි වසර දෙක තුළ ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා සැලසුම්සහගත හා ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ මදුරු මර්දන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) කොළඹ ජාතික රෝහලේදී පැවති අතර, එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


මෙහිදී පසුගිය ඩෙංගු අධි අවදානම් සමයේ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල අඩුපාඩු හඳුනාගැනීම, අධි අවදානම් කලාප හඳුනාගැනීම, ඒකාබද්ධ මදුරු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, තාක්ෂණික දායකත්වය ඉහළ නැංවීම, ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සහ ඩෙංගු මරණ අවම කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.


අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලයේ ඩෙංගු මරණ අඩු කර ගැනීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයක් බවත්, රෝගීන් අඩුවෙන් වාර්තා වන කාලසීමාව තුළද මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්ය. 


ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටම දක්වා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ඔහු අවධාරණය කළේය.


ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, තවමත් ඩෙංගු අවදානම පවතින නමුත් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් දිනකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1,300ක පමණ සිට 350ත් 400ත් අතර මට්ටමකට අඩු වී ඇති බවයි.


ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊයේ (04) වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 87,536 දෙනෙකු සහ ඩෙංගු මරණ 63ක් වාර්තා වී ඇති බවත්, ඉදිරි වැසි සමය සහ දේශගුණික විපර්යාස සැලකිල්ලට ගනිමින් මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

 

More News..