ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්
22 August 2026 | නිලන්ත මදුරාවල
ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්
22 August 2026 | නිලන්ත මදුරාවල
ලබන වසරේ සිට ජාතික පාසල්වල වසර අටට වැඩි සේවා කාලයක් සහිත සියලු ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම වසරේ දී මාරු කෙරුණේ ජාතික පාසල්වල වසර නවයක සේවා කාලයක් සහිත ගුරුවරුන් ය. මෙම ගුරුවරුන් මාරු කරන්නේ පළාත් මට්ටමින් මාරු මණ්ඩල කැඳවමිනි. ලබන වසරේ ස්ථාන මාරු ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා අවසන් කර තිබේ.
මේ අතර ගුරු ස්ථාන මාරු අවලංගු කරගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර ඇති ගුරුවරුන්ට අදාළ තීරණ මෙතෙක් ලබා දී නොමැත. මේ නිසා එම ගුරුවරුන් ලබන වසරට අදාළව ද ස්ථාන මාරු අයදුම් කර නැත. ඔවුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ මාරු මණ්ඩලයට ඉදිරිපත්කළ අභියාචනා ප්‍රතික්ෂේප වීම නිසා ය. මාරු මණ්ඩලයට ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් පසු එම ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ තවදුරටත් එම පාසලේ ම රැඳී සිටීමේ අරමුණින් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි. එම අභියාචනාවලට අදාළ තීරණ ලබාදීම ප්‍රමාද වන තරමට එම ගුරුවරුන්ගේ අරමුණ පහසුවෙන්ම ඉටු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

