එල්.පී.එල් 'ප්ලේ ඕෆ්' වටය හෙට සිට
04 August 2026
එල්.පී.එල් 'ප්ලේ ඕෆ්' වටය හෙට සිට
04 August 2026
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ පැවැති අවසන් තරගය වූ 'දඹුල්ල සික්සර්ස්' සහ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයට පෙරේදා (2 වැනිදා) වර්ෂාවෙන් බාධා වීමෙන් තරගය විසඳුම් රහිත තරගයක් වීමත් සමග දඹුල්ල කණ්ඩායමට සිය 'ප්ලේ ඕෆ්' වටයේ බලාපොරොත්තු අහිමිව ගිය අතර, කැන්ඩි කණ්ඩායමට ප්ලේ ඕෆ් වටයට ප්‍රවිෂ්ඨ වීමට අවකාශ සැලැසිණි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ දමුල්ල කණ්ඩායම සිය පන්දුවාර 20 අවසන කඩුලු 8 දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් සහ පවන් රත්නායක පිළිවෙළින් ලකුණු 44ක් සහ 47ක් රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී දිල්ශාන් මධුසංඛ කඩුලු 3ක් ද දුනිත් වෙල්ලාලගේ සහ ලිසාර්ඩ් විලියම්ස් කඩුලු 2 බැගින් දවාගත්හ. එහෙත් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙම ඉනිමෙන් අනතුරුව ජැෆ්නා කණ්ඩායමට පිළිතුරු ඉනිම දියත් කිරීමේ අවකාශ නොලැබුණු අතර ජයග්‍රහණය කළ යුතුවම තිබූ තරගය තීරණයක් නොමැතිවීමෙන් දෙපිලට එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ඒ අනුව ප්‍රසාද ලකුණු 7ක් ලද දඹුල්ල 5 වැනි ස්ථානයටත් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 11ක් සමගින් ප්‍රථම ස්ථානයටත් පත්වුණි.
ඒ අනුව තරගාවලියේ පැවැත්වෙන 'ප්ලේ ඕෆ්' වටයේ තරග හෙට (5 වැනිදා) ආරම්භ වීමට නියමිතය. මෙහිදී හෙට පැවැත්වෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් දෙක වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර කොලිෆයර් ප්‍රථම තරගය පස්වරු 3ට ආරම්භ වන අතර, කලම්බු කැප්ස් සහ කැන්ඩි රෝයල්ස් තරග වදින එලිමිනේටර් තරගය රාත්‍රි 7ට ආරම්භ වේ. අනතුරුව පැවැත්වෙන දෙවැනි කොලිෆයර් තරගය 7 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 8 වැනිදා රාත්‍රි 7ට ආරම්භ වේ. මෙම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
කෙසේවෙතත් මේ දිනවල පවතින මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් කොළඹ පැවැත්වෙන අවසන් අදියරේ තරග සඳහා වර්ෂාවේ බලපෑමක් සිදුවිය හැකි බවට පුරෝකථනය වී ඇති අතර යම් හෙයකින් එවන් බලපෑමක් සිදු වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සංවිධායකයන් දැනුවත් කිරීමක් සිදුකොට නොමැත.

