brand logo
logo
පිටකොටුවේ බස් නැවතුමේ කෙළ ගැහුවොත් හෝදලාම තමයි යන්න වෙන්නේ

පිටකොටුවේ බස් නැවතුමේ කෙළ ගැහුවොත් හෝදලාම තමයි යන්න වෙන්නේ

29 August 2026 | අනීෂා මානගේ

ස් ථානය ජනාකීර්ණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළය. තැඹිලි පැහැති ටී ෂර්ටයකින් හා කොට කලිසමකින් සැරසී උන් අයෙක් බස් නැවතුම්‍පොළේ මගීන් අතර එහාටත් මෙහාටත් ඇවිද ගියේ යමකට කුරුමානම් අල්ලන්නට මෙනි. මඳ වේලාවකට පසු ඔහු කළේ මගීන් කිහිපදෙනකු අසුන්ගෙන සිටි ආසන පේළියේ තිබූ හිස් අසුනක වාඩිවීමය. එතෙක් වේලාවක් කුරුමානම් අල්ලමින් සිටි ඔහු සිටි අසුනට එහා පැත්තේ තිබූ ගමන් බෑගයක් සැණෙකින් ඩැහැගත්තේය. එය අතට ගත් ඔහු කළේ බස් නැවතුම්පොළෙන් පිටතට ඉක්මන් ගමනින් යාමය. තමා කළ සොරකම තෙවැනි ඇසකින් නිරීක්ෂණය වෙමින් තිබූ බව ඔහු දැනගත්තේ ගුවන් හමුදා සාමාජිකයකු ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගත් විටය.


සොරකම කර මඳ වේලාවක් යන්නට මත්තෙන් සොරා අල්ලාගන්නට හැකි වූයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂාවට අලුතින් යොදවා සිටින ගුවන් හමුදා නිලධාරින් තිතටම සිය රාජකාරිය ඉටුකළ නිසාය. ගුවන් හමුදාවේ නිලධාරින් පිටකොටුව බස් නැවතුම්පොළේ ආරක්ෂක රාජකාරියට යෙදවූයේ මෑතක සිටය. ඒ, එය අලුත්වැඩියා කර නවීන පන්නයේ බස් නැවතුම්පොළක් කළාට පසුවය. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීන පන්නයේ බස් නැවතුම්පොළක් කරන්නට මාලිමා ආණ්ඩුව පිඹුරුපත් ඇන්දේ ගිය අවුරුද්දේය. රියැදුරු විවේකාගාර, ආරක්ෂක පද්ධතිය, තොරතුරු සන්නිවේදන ස්ථාන ඇතුළුව මෙකී නොකී වැඩ රාජකාරි බොහොමයක් ඉදිකරන්නට බස් නැවතුම්පොළ හරියටම හය මාසයක් වසා දැමුණේය.


පිටකොටුව බස් නැවතුම්පොළේ ඉතිහාසය දෙස හැරී බැලූ විට දිව යන්නේ එක්දහස් නවසිය හැටේ දශකයටය. එක්දහස් නවසිය හැට හතරේ ජූනි එකොළොස්වැනිදා ප්‍රවාහන ඇමැති ධුරයට පත් අනිල් මුණසිංහ පිටකොටුව බස් නැවතුම්පොළ ඉදිකරන්නට මූලික පදනම දැම්මේය. ඒ, කොළඹ කොටුව දුම්රිය පොළ පේන මානයෙන් සුවිසල් බිමක් මිලදී ගනිමිනි. ඔහුගේ වුවමනාව වී තිබුණේ එහි බස්පොළක් ඇතුළු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්නටය. ඒත් ඒ වුවමනාව ඉෂ්ට කරන්නට මත්තෙන් ආණ්ඩු පෙරළුණේය. බස් පොළ ඉදිකිරීමේ කාරිය ලප් තැනම ලොප් විය.


යළිදු වාරයක් පිටකොටුව බස්පොළ ඉදිකිරීමේ කාරියට පෙරමුණ ගත්තේද ඔහුමය. ඒ, මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව ලංගමයේ සභාපති සහ සාමාන්‍යාධිකාරි හැටියට අනිල් මුණසිංහ පත්කිරීමත් සමගය. බස් නැවතුම්පොළ ඉදිකිරීමේ කාරිය ඇරඹුණේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේදීය. එදා ගොඩනැගුණු බස් නැවතුම්පොළ හරිහමන් විදියට අලුත්වැඩියා කෙරුණේ දෙදහස් අටේදීය. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉන්ජිනේරු අංශයේ අධීක්ෂණයෙන් යළිදු වාරයක් අලුත්වැඩියා කළ පිටකොටුව බස් නැවතුම්පොළ නවීන පන්නයට ඉදිකෙරුණේය. එය ඉකුත් අප්‍රේල් මාසයේදී ජනතාවට විවෘත කෙරුණේය.


අලුතින් හැදූ පිටකොටුව බස් නැවතුම්පොළ යළිදු වාරයක් නරකාදියක් වෙන්නට වැඩි කලක් ගත නොවන බව සහසුද්දයෙන් දන්නා නිසාම ආණ්ඩුව කළේ සියලු ආරක්ෂක වැඩ රාජකාරි ද ගුවන් හමුදාවට භාරදීමය. බස් නැවතුම්පොළේ ගුවන් හමුදාව කරන රාජකාරිය ගැන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් නලීන් වෑකුඹුර අපට තතු කීවේය.


“බස් එකක ඉන්න මගියකුට කාලසටහන පවා දැකගන්න පුළුවන් විදියටයි අපි මෙය නිර්මාණය කළේ. අම්මා කෙනකුට දරුවෙක්ට කිරි දෙන්න තැනක්, හදිසියේ අසනීපයක් වුණොත් රෝහල්ගත කරන්න ක්‍රමවේදයක් වගේම සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියක් අපි නිර්මාණය කළා. මේ සියලු වැඩ කටයුතු මාස තුනක කාලයක් පාලනය කරන්න අපට බලය දුන්නා. අපි දැන් ඒ දේ යි කරන්නෙ. බස් නැවතුම්පොළ විනාශ කරන්න හදන අය වගේම මගීන්ට කරදරයක් විදියට හැසිරුණ අය හඳුනාගෙන ඒ අයව පොලිසියට භාරදීම මේ දවස්වල අපි කරගෙන යනවා. දැන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ කියන්නේ කලින් තිබුණ පරණ බස් නැවතුම්පොළ නෙවෙයි...”


අලුතින් හැදූ බස් නැවතුම්පොළ කැත කරන්නට අපේ උදවියට දැන් අවස්ථාවක් නැත්තේ බස් නැවතුම්පොළේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගුවන් හමුදාවේ උකුසු ඇස පැය විසි හතර පුරාම යොමු වී ඇති නිසාය. බස් නැවතුම්පොළේ අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ පළමුවැනි මහල වෙන්කර ඇත්තේ ගුවන් හමුදාවෙන් ක්‍රියාත්මක කෙරෙන සීසීටීවී ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයටය. ගුවන් කොමදෝරු බුද්ධික පියසිරිගේ අධීක්ෂණයෙන් මේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු භාර කෙරුණේ බළගණ නායක ඉන්දික වික්‍රමසිංහ ඇතුළු ගුවන් හමුදා සාමාජිකයන් කණ්ඩායමකටය. මේ කණ්ඩායමට නොදැනී දැන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඉහළින් කපුටෙකුටවත් පියඹන්නට නොහැකිය.

ඒ මන්ද යත් ගුවන් හමුදාව බස් නැවතුම්පොළේ ආරක්ෂාව සියතට ගත් දා සිට මේ ලිපිය ලියූ බ්‍රහස්පතින්දා දක්වා කාලයේදී පමණක් බස් නැවතුම්පොළට අවැඩ කළ සිද්ධීන් එක්දහස් තුන්සීයකට අධික ප්‍රමාණයක් හඳුනාගන්නට හැකිව තිබීමය. කොටින්ම කියනවා නම් ඉස්සර වාගේ බුලත් විට හප කර හිතූ හිතූ තැන්වල කෙළ ගසන්නටවත් දැන් කිසිවෙකටත් නොහැකිය.

බස් රියැදුරන්, කොන්දොස්තරවරුන් සේම ඇතැම් මගීන්ද බුලත් විට හපමින් තැන් තැන්වල කෙළ ගසන්නට පුරුදු වී සිටින්නේ එය අපේ රටේ නීතියේ හැටියට වරදක් බව නොදැනය. බොහෝ විට මේ කාරිය රියැදුරන් කරන බව සහසුද්දයෙන්ම කිව හැකි වන්නේ බස් නවත්වන තැන්වල රියැදුරු අසුන ළඟ පොළොවේ තැන තැන රතු පැල්ලම්වලින් අවලස්සන වී තිබෙන නිසාය. සමහරු කරන්නේ බුලත් විටට ගන්නා හුනු ඇබිද්ද ඇඟිල්ලෙන් කොහේ හෝ බිත්තියක ඇතිල්ලීමය. දිනපතා බිත්තිවල, කණුවල හුනු අතුල්ලන උදවිය නිසා වැරැදීමකින් හෝ කිසිවකුටත් බිත්තියක හේත්තු වෙන්නට නොහැකිය.

පරිසරය අවලස්සන කරමින් තැන තැන බුලත් කෙළ ගසන උදවියට අපේ රටේ නීතියේ හැටියට අධිකරණයේ නඩු පවරන්නට වුවද පුළුවන. ඒ වෙනුවෙන් මහ නගර සභා ආඥා පනතෙන් අවසර ඇත්තේය. එමතු නොවේ, දණ්ඩ නීති සංග්‍රහයේද මෙවැනි වැරැදි සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට ප්‍රතිපාදන ඇත්තේය. දණ්ඩ නීති සංග්‍රහයේ 14 වැනි පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව, පහසුව, සභ්‍යත්වය හා සදාචාරය පිළිබඳ වැරැදි යන කොටසේ 261 වගන්තියේ ඒ ගැන සඳහන්ව ඇත්තේය. එහි සඳහන් වී ඇති පරිදි මහජනතාවට පොදු පාඩුවක්, අන්තරායක් හෝ අප්‍රසන්නතාවක් ඇතිකරන තැනැත්තෙක් මහජන කරදර කිරීමේ වරදට වැරැදිකාරයෙක් වන බවය. මහජන කරදර කිරීමේ වරදට දණ්ඩනීති සංග්‍රහයේ ඇති පරිදි රුපියල් විසිදහසක දඩයක් වුවද පනවන්නට අවසර ඇත්තේය.

ඒත් පිටකොටුව බස් නැවතුම්පොළේ බුලත් කෙළ ගැසූ උදවිය කුදලාගෙන ගොස් කූඩුවෙ දමන්නට ගුවන් හමුදාව හෝ පොලිසිය දත කෑවේ නැත. ඔවුන් කළේ, කළ වැරැද්ද එතැනම නිවැරැදි කිරීමය. ඒ, වැරැද්ද කළ අයවලුන් ලවාම එතැන සුද්ධ පවිත්‍ර කිරීමය. උසාවියෙන් නඩු අසා දඩ නියම කරනවාට වඩා දෙනෝ දාහක් බලා සිටියදී ප්‍රසිද්ධියේ බුලත් කෙළ සෝදන්නට වීමම ඊටත් වඩා දඬුවමක්ය.

බුලත් කෙළ ගැසූ උදවිය පමණක් නොවේ බෝතල්වලට මුත්‍රාකර තැන තැන දමා ගිය රියැදුරන්ද අල්ලාගන්නට ගුවන් හමුදාවට හැකිවුණේය. කොහොමත් අපේ රටේ බොහෝ උදවිය හිතූ තැනක මුත්‍රා කරන්නට රුසියෝය. එකල පිටකොටුව බස් නැවතුම්පොළේ ඇතැම් තැන්වල මුඛවාඩම් නැතුව යන්නම බැරිය. බස් නැවතුම්පොළ පමණක් නොවේ දුම්රියපොළවලටද මෙය කරදරයක්ය. කෙතරම් වැසිකිළි කැසිකිළි තිබුණත් ඇතැමුන් කැමැති ප්‍රසිද්ධියේ මුත්‍රා කරන්නටය. මරදාන දුම්රියපොළ ඉදිරිපිට ඇති ගුවන් පාලමේ පඩිපෙළ යට දැන් එහෙව් උදවියගේ වැසිකිළියක් වී හමාරය.

කෙසේ නමුදු දැන් පිටකොටුව බස් නැවතුම්පොළේ මේ සෙල්ලම් දමන්නට ඉඩක් නැත්තේය. මගීන්ගේ ගමන් මලු සොරකම් කළ සොරුන් සේම ගැට කපන්නන්, බමන මතින් හැසිරෙන්නන්, සල්ලාලයන්, යාචකයන් සේම වීථි සරන ළඳුන්ටද පිටකොටුව බස් නැවතුම්පොළ දැන් තහනම් කලාපයක් ය.

මේ සියලු දෑ නිරීක්ෂණය කරන්නේ බස් නැවතුම්පොළේ සවිකර ඇති සීසීටීවී කැමරා සහ ආරක්ෂාවට යොදවා සිටින ගුවන් හමුදා සාමාජිකයන්ය. එකකින් තවත් එකක් නිරීක්ෂණය වන පරිදි සීසීටීවී කැමරා හැට හතරක් දැන් බස් නැවතුම්පොළේ සවිකර ඇත්තේ අඩුම තරමේ මේ කැමරාවකට කිසිවකු හෝ හානි කළහොත් ඒ පුද්ගලයාද හඳුනාගන්නට හැකි වන පරිදිය. මේ සියලු කැමරාවලින් ලැබෙන දර්ශන සීසීටීවී ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පුළුල් තිරයේ ප්‍රදර්ශනය වන්නේ දවසේ පැය විසිහතර පුරා ගුවන් හමුදා නිලධාරින්ගේ අධීක්ෂණය කරන්නට හැකි පරිද්දෙන්ය. සැක සහිත හැසිරීම් පෙන්වන පුද්ගලයන් කරන කියන දෑ දිගින් දිගටම නිරීක්ෂණය කර යම් හෙයකින් හෙතෙම අවැඩක් කරන්නේ නම් ළඟම සිටින ගුවන් හමුදා සාමාජිකයාට ඒ බව වෝකිටෝකි උපකරණයකින් දැනුම් දෙන්නේය. හොරා පැනයන්නට පෙර බඩුත් එක්කම අල්ලාගන්නට එවිට පුළුවන.

වරක් හිස් අතින් බසයකට ගොඩවෙන අයෙක් බසයෙන් බැස යන්නේ බෑගයක් අතින් ගෙනය. බස්රථ ඇතුළට ගුවන් හමුදා සීසීටීවී කැමරා සවිකර නැතත් බස් නැවතුම්පොළේ සවිකර ඇති කැමරා මගින් සැකකටයුතු මේ පුද්ගලයා නිරීක්ෂණය කර තිබුණේය. බළගණ නායක ඉන්දික වික්‍රමසිංහගේ උපදෙස් අනුව කැමරා දර්ශන ආපස්සට නිරීක්ෂණය කර සැකකරු ගැන සැකහැර දැනගෙන ඔහු අල්ලාගන්නට ඔවුන්ට හැකිව තිබුණේය. තවත් අයෙක් බසයකට ගොඩවී මගීන්ට ටිකට් දී මුදල් එකතු කරගෙන ඇත්තේ කොන්දොස්තර ලෙස පෙනී සිටිමින්ය. මේ පුද්ගලයා බසයේ කොන්දොස්තර හෝ රියැදුරු නැති වේලාවක බසයට ගොඩවී මුදලින් රුපියල් එක්ලක්ෂ විසිදහසක් එකතු කරගෙන සිටියදී ගුවන් හමුදා සාමාජිකයන්ගේ අතටම හසු වුණේය. ඔහු මෙන් බස් නැවතුම්පොළේ වැසිකිළියට යන උදවියගෙන් මුදල් එකතු කළ දෙදෙනෙක් අල්ලාගන්නටත් ගුවන් හමුදා නිලධාරින්ට හැකිව තිබුණේය.

බස් නැවතුම්පොළේ වැසිකිළි ඇතුළේ සීසීටීවී කැමරා සවිකර නැතත් හැම මොහොතකදීම ගුවන් හමුදා සාමාජිකයෙක් සිවිල් ඇඳුමින් සැරසී ඒවාට ගොස් නිරීක්ෂණය කරන්නේ පොදු දේපළවලට හානි කරන උදවිය අල්ලාගන්නටය. වරක් එසේ ගිය විටදී නිලධාරියකු දැක ඇත්තේ යමෙක් නොහොබිනා ආරාධනාවක් කරමින් සිය ජංගම දුරකතන අංකය බිත්තියේ ලියා ඇති අයුරුය. මේ දුරකතන අංකයට ඇමතූ ගුවන් හමුදාව කළේ සැකකරුගේ ආරාධනාවට කැමැති කෙනකු සේ කතා කිරීමය. කළුතර පදිංචිකරුවකු වූ සැකකරු රවටා ගෙන්වාගත්විට ඔහු තමන්කළ වරද පිළිගත්තේය. ඔහුව පොලිසියට භාර දී තිබුණේය.

බස් නැවතුම්පොළේ අතරමං කර දමා ගිය දරුවන් හා වැඩිහිටි උදවිය ද කිහිපදෙනෙක්ම ගුවන් හමුදා නිලධාරින්ට හමුවුණේය. මේ අය ගෙනැවිත් අතරමං කර දමා යන උදවිය සොයාගෙන ඒ ගැන පොලිසියට දන්වා තිබුණේය.

ගුවන් හමුදාව බස් නැවතුම්පොළේ උදවිය සීසීටීවී කැමරාවලින් නිරීක්ෂණය කරන බව දන්නා වංචනිකයෝ කැමරාවෙන් ගැලවී ඉන්නට උප්පරවැට්ටි කල්පනා කරන්නෝය. සමහරු කරන්නේ කැප් තොප්පි දමාගෙන බස් නැවතුම්පොළේ කරක් ගැසීමය. කැමරාවෙන් ගැලවී ඉන්නට ලේසි පහසු යැයි ඔවුන් සිතුවද අනෙක් මගීන්ට වඩා ඔවුන් පසුපස ගුවන් හමුදා නිලධාරින් හඹා යන බව ඔවුන් දන්නේ නැත. තවත් සමහරු බස් නැවතුම්පොළට පිටතින් සිට කාන්තාවන් රවටාගෙන ඔවුන් සමග කතා බහ කරමින් බස් නැවතුම්පොළට ඇතුළුවන්නේ ඔවුන්ගේ හිතවතකු ලෙසය. කාන්තාවක රැවටූ අයෙක් වරක් එලෙස බස් නැවතුම්පොළට ඇතුළු වී කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරාගෙන තිබුණේය. එදා ගුවන් හමුදාව කළේ බස් නැවතුම්පොළට පිටතින් ඇති සීසීටීවී පවා පරීක්ෂා කර සැකකරුගේ පැටිකිරිය හඳුනාගෙන අල්ලා ගැනීමය.

සීසීටීවී ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ගුවන් හමුදා සාමාජිකයන් පවසන අන්දමට පිටකොටුව බස් නැවතුම්පොළේ වංචා වැඩ කරන්නට පුරුදු වී සිටින්නේ දහයක්, පහළොවක් වැනි අතළොස්සක පිරිසක් ය. වරෙක හිස මුඩුගාගෙන එන අයෙක් තවත් දවසක එන්නේ හිසකෙස් වවාගෙන වෙස්වළාගෙනය. ඔවුන් කරන උප්පරවැට්ටි සියල්ලම ගුවන් හමුදා නිලධාරින් කැමරාවලින් සියුම්ව නිරීක්ෂණය කරමින් සිටින්නේ බඩුත් සමගම අතටම අල්ලාගන්නටය.

මත්කුඩුවලට ඇබ්බැහිවූවෝ කලකට පෙර පිටකොටුව බස් නැවතුම්පොළ සිය අණසකට යටත් කරගෙන සිටියහ. දැන් ඔවුන්ට බස් නැවතුම්පොළේ පස් පාගන්නට නොහැකිය. ඒත් තවමත් මොරටුව දුම්රියපොළේ කාන්තා වැසිකිළි කුඩුකාරයන්ගෙන් බේරාගන්නට නොහැකි වී ඇත්තේය. කාන්තා වැසිකිළිය අගුළු ලා එහි යතුර අදටත් දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ භාරයේ ඇත්තේ ඒ නිසාය.

මෑතකදී ඇරඹුණු මෙට්‍රෝ බස් සේවාව ගැන රටේ උදවිය බොහෝ දෙනෙක් ගුණ වැයූහ. ඒත් කෝටි ගණන් වටිනා බස් රැකගන්නට ඒවායේ සේවය කරන සේවකයන්ට වුවමනාවක් නැති විත්තිය මෑතකදී සමාජ මාධ්‍යයේ බෙදාහැරුණු ඡායාරූප පෙළකින් තහවුරු වුණේය. බසයේ ගමන් වාරය එළැඹෙන තුරු එහි කොන්දොස්තර සිටියේ කකුල් දෙක ආසනයක ඇන්ද මත තබාගෙන තමන්ගේ ගෙයි සාලයේ හාන්සි පුටුවේ වගේය. ඔවුන්ට ඒවා රැකගන්නට වගක් නැත. මෙය දුටු අයෙක් කොන්දොස්තරගේ ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යයේ බෙදා හැර තිබුණේය.

අපේ රටේ ඇති බොහෝ නගරවල බස් නැවතුම්පොළවල් අපේම උදවියගෙන් ආරක්ෂා කරන්නට තවමත් වැඩපිළිවෙළක් නැත්තේය. සමහරු බස්නැවතුම්පොළ යොදාගන්නේ හැන්දෑවට කාලකින් සප්පායම් වෙන්නට ගැළපෙන තැනක් ලෙසය. උන් ඉතිරිකර යන කාලේ බෝතල් බස් නැවතුම්පොළවල මුළුවල ගොඩගැහිලාය. මෑතකදී ඉදිකෙරුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සේම කඩවත හා මීගමුව බස් නැවතුම්පොළ හැරුණුවිට රටේ අනෙකුත් බස් නැවතුම්පොළවල් තවමත් මිහිපිට අපායන් ය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයද ජනතාවට විවෘත කළ සමයේ බොහෝ උදවිය එයද විනාශ කර නැති භංගස්ථාන කරන්නට වෑයම් කළහ. සමහරු වැසිකිළිවල කොටස් ගලවාගෙන ගෙදර රැගෙන ගියහ. ඒත් එහි ආරක්ෂාව එන්න එන්නම තර කෙරුණේය. දැන් ටොෆි කොළයක් වුවද බිම දැමූ සැණින් පිරිසුදු කරන සේවකයෝ එය රැගෙන යන්නෝය. ඒත් එතැන ඇති වගකීම අපිරිසුදු වන සැණින් පිරිසුදු කිරීම නොව ටොෆි කොළයක්වත් තැන තැන බිම නොදමන තැනට වැඩ සිද්ධ විය යුතුය.


 

More News..