(නැවතත්) තෙල් නෑ!
07 October 2026
(නැවතත්) තෙල් නෑ!
07 October 2026
පෙරේදා (5 වැනිදා) රට පුරා පැට්‍රෝල් ෂෙඩ් අවුරුදු කීපයකින් අතීතයට ගියේය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඒවායේ කලකට පෙර මෙන් "ඉන්ධන නැත" යනුවෙන් බෝඩ් ගසා තිබුණේය. එසේවුවද පැට්‍රෝල් ෂෙඩ් ඉදිරියේ දිග පෝලිම් දකින්නට ලැබුණේය.
ඉතා කෙටියෙන් කියතොත් ආණ්ඩුව පෙරේදා "ඉල්ලන් කෑවේය". අප එසේ කියන්නේ ඉකුත් සිකුරාදා වන විටද කුණාටුවේ පෙර මග ලකුණු පහළ වී තිබුණු බැවිනි. එහෙත් ආණ්ඩුව ඊට පෙර ගේ මතට පාත්වී තිබුණු ගහ කපන්නට කරදර නූනේය.
ප්‍රශ්නය ඇති වී තිබුණේ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතරය. මේ නිසා ආණ්ඩුවේ (සිපෙට්කෝ) පැට්‍රෝල් ෂෙඩ්වල හැරෙන්නට අනෙක් කිසිදු තැනෙක පෙරේදා ඉන්ධන නිකුත් කෙරුණේ නැත. තෙල් බෙදාහරින පෞද්ගලික කොම්පැනි ඉල්ලන මිල ගණන් ආණ්ඩුව ලබාදීමට අකැමැති වීම ප්‍රශ්නයට මුල විය.
ජාතික ජන බලවේගය තමන් බලයට පැමිණීමට පෙර දේශපාලන වේදිකාවලදී කියා සිටියේ වරායෙන් ගොඩ බාන මිලටම ජනතාවට ඉන්ධන ලබාදෙන බවය. දැන් පෞද්ගලික කොම්පැනි තෙල් වරායෙන් ගොඩ බාන මිලටම විකිණීමට ඉල්ලන විට ආණ්ඩුව ඊට බෑ කියයි! ඒ අතරේ ආණ්ඩුව කියන මිලට තෙල් විකුණන්නට බැරි යැයි කොම්පැනි කියා සිටී.
ඔවුන් කියා සිටින්නේ ආණ්ඩුව ලබාදෙන ඉන්ධන සහනාධාරය තමුන්ට නොසෑහෙන බවයි. යටත් පිරිසෙයින් පැට්‍රෝල් මිල තවත් රුපියල් 40 කින්ද, ඩීසල් මිල රුපියල් රුපියල් 100කින්ද වැඩිවිය යුතු බව ඔවුන්ගේ මතයයි. දැනටමත් ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් ඩීසල් මිලද ඉහළ දැමුවොත් ජනතාව හිරකරගෙන සිටින පටි පුපුරා යන්නට ඉඩ ඇති බව දන්නා ආණ්ඩුවට එය ඉටුකිරීමට අමාරු ඉල්ලීමකි.
ඒ අතරේ ආණ්ඩුව දැන් මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත් නොකරන්නේ මන්දැයි ඔවුන්ගේ විවේචකයෝ විමසති. අපේ රටේ ඉන්ධන මිල පවත්වාගෙන යායුත්තේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් හා පිරිපහදු කළ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ. එහෙත් ආණ්ඩුව මිල සූත්‍රය රටෙන් වසන් කරන්නේ ඉන්ධනවලින් ලබන අධික ලාභය හෙළිදරව්වීම වැළැක්වීමට බව විවේචකයන්ගේ අදහසයි.
ආණ්ඩුවේ හැසිරීමද මේ පිළිබඳව ඇති සැකසංකා වැඩි කරන්නක් මිස අඩු කරන්නක් නොවේ. සැප්තැම්බර් මාසයේ දින පහළොවක් වැනි කෙටි කාලයක් තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා කළ පරස්පර විරෝධී ප්‍රකාශ දෙක මීට කදිම උදාහරණයකි. ඔහු සිය මුල් ප්‍රකාශයෙන් කියා සිටියේ සංස්ථාව ලාභ ලබන බැවින් ඉන්ධන මිල වැඩි නොකරන බව වන අතර ඊට දෙසතියකට පසු ඔහු කියා සිටියේ ආයතනය පාඩු ලබන බැවින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බවය.
ඇත්තෙන්ම මේ විදිහේ එකිනෙකට වෙනස් ප්‍රකාශ දෙකක් දින පහළොවක් ඇතුළත කරන තැනැත්තෙක් රජය සිය ප්‍රමුඛ පෙළේ ආයතනයක මුල් පිටුවේ තබාගැනීම ප්‍රශ්නකාරී යැයි බැලූ බැල්මට සිතෙයි. ඇත්තටම එය එසේ නොවේ. අසරණ සභාපතිවරයා අමාරුවේ වැටී සිටින්නේ සිය ඕනෑ එපාකම් ලැජ්ජාවකින් තොරව ඉෂ්ට කිරීමට යෑම නිසා බව ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට රහසක් නොවන බැවිනි.
ජනාධිපතිවරයාගේ පටන් තෙල් සංස්ථා සභාපතිවරයා දක්වා වන සියලුදෙනා තෙල් ප්‍රශ්නයේදී කියා සිටින්නේ තමන් ඉන්ධන මිලේ සියලු බර ජනතාවට නොපටවා සහන මිලකට ඒ ලබාදෙන බවය. මෙය ඇත්තක් සේ පෙනීයන බොරුවකි. ආණ්ඩුව ඉන්ධන ලබාදෙන්නේ සහන මිලකට වුවද ඒ සඳහා අවශ්‍ය බරපැන සොයාගන්නේ ජනතාව පිට පටවන බදු බරින් බැවිනි.
ආණ්ඩුව සෑම පාරිභෝගික ද්‍රව්‍යයකටම බදු ගසන අතර ඉන්ධන සහනාධාරය දීමට යොදාගන්නේද ඉන් උපයාගත් මුදල්මය. එසේ ගත්කල අන්ත දුගියා මිලදී ගන්නා පරිප්පු 250ට හා සීනි 250ට පටවා ඇති බදුවලින් ලැබෙන මුදලින් ආණ්ඩුව නවීන සුඛෝපභෝගී වාහනවල හිමිකරුවන්ටද ඉන්ධන සහනාධාර ලබාදෙයි. මෙය පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවන බවට දිවුරා පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවක් බව මෙහිදී අමතක කළ නොහැකිය.
ඊයේ සවස් වන විට තෙල් සංස්ථාව කියා සිටි දෑද මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. ඒ රටේ තෙල් සංචිතවල හිඟයක් නැති බවත්, පෞද්ගලික පැට්‍රෝල් ෂෙඩ්වල ඉන්ධන නොමැති නම්, සිපෙට්කෝ පැට්‍රෝල් ෂෙඩ් වෙත යන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය. එහෙත් එතෙකින් ප්‍රශ්නය ඉවර නොවනු ඇති බව අපේ කල්පනාවයි.
රටට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිපෙට්කෝ පැට්‍රෝල් ෂෙඩ්වලින් පමණක් දිගටම කළ නොහැකිය. එනිසා මේ ප්‍රශ්නය යළි යළිත් ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුය. එසේ නැත්නම් වරින් වර තෙල් හිඟවීම හෝ තෙල් පෝලිම් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත.

