තිරප්පනේ වැව් රක්ෂිතයේදී ගිනිඅවි සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
04 October 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව
තිරප්පනේ වැව් රක්ෂිතයේදී ගිනිඅවි සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
04 October 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව
තිරප්පනේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් නාච්චදූව වැව් රක්ෂිතයේ සිදුකළ රාත්‍රී මුර සංචාරයක් අතරතුරදී ගිනිඅවි සහ උණ්ඩ සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නිලධාරීන් පවසන්නේ නියං සමය හේතුවෙන් වැටලීම් සංඛ්‍යාව ඉහළ නංවා ඇති අතර, මධ්‍යම රාත්‍රියේ ඇසෙන වෙඩි ශබ්ද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මුර සංචාරය ක්‍රියාත්මක කළ බවයි.
එහිදී පෙරවරු 2.30 ට පමණ රක්ෂිතය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු නිරීක්ෂණය වී ඇති අතර, ඔවුන් දඩයක්කරුවන් බව හඳුනාගත් නිලධාරීන්, සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් රැඳී සිට ඔවුන් උපාශීලීව යටත් කරගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී බෝර 16 වර්ගයේ පතරොම් තුවක්කුවක් සහ ජීව උණ්ඩ 06 ක් වනජීවී භාරයට ගෙන තිබේ. මොවුන් වන සතුන් ඝාතනය කිරීම සඳහා මාන බලමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, මීට පෙර ඔවුන් විසින් සිදුකරන ලද මස් ජාවාරම් සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ නඩු භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

